ජනතාව බලගතු කර නිදහස් නිවහල්ව තීරණ ගැනීමේ පරිසරයක් සැකසීම මඟින් දිළිඳු බවින් තොර පොහොසත් රටක් ගොඩනැඟීමට කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ ඇමැති, මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේ දී ඊයේ (19) වැඩ භාර ගනිමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.
“මේ අමාත්‍යාංශය යටතේ සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම පැවතුණත් ග්‍රාම සංවර්ධන විෂය තිබුණේ නැහැ. ජාතික ජන බලවේගය ආණ්ඩුව රටේ දිළිඳුකම තුරන් කිරීමේ ක්‍රියාවලියේදී ග්‍රාමීය දිළිඳුකම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. ජනගහනයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් ජීවත් වන්නේ ග්රාමීයවයි. නිදහස ලැබුණු දා සිට සමාජ ආරක්ෂණය පිළිබඳව ජනසවිය, සමෘද්ධිය වැනි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. දැන් අස්වැසුම ක්‍රියාත්මකයි. මේ යටතේ විශාල පවුල් සංඛ්‍යාවක් ප්රතිලාභ ලබනවා. ජාතික ජන බලවේගය මැතිවරණවලට ඉදිරිපත් වීමට පෙර මේ සම්බන්ධයෙන් විශේෂ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියක් සකස් කර ජනතාවට ඉදිරිපත් කළා. ජනතාව අපට බලය දුන්නේ ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නයි. ඒ අනුවයි මේ අමාත්‍යාංශය අලුතින් පිහිටුවන්නේ. ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කරන්නටත් සමාජ ආරක්ෂණය අවැසි අයට සමාජ ආරක්ෂණය ලබාදෙන්නටත් අපි කටයුතු කරනවා.
අපේ රටට අවශ්‍ය සුබසාධනය නොවෙයි. අවශ්‍ය අයට සුබසාධනය ලබාදෙන අතරේ සියලු දෙනා බලගතු කර නිදහස්ව නිවහල්ව තීරණ ගැනීමට හැකි පරිසරයක් සකස් කිරීමටත්, දිළිඳු බවින් තොර පොහොසත් රටක් ගොඩනැඟීමටත් බලාපොරොත්තු වෙනවා.
සමෘද්ධි වැඩසටහන අවසන් වෙලා නැහැ. අවසන් වී ඇත්තේ සමෘද්ධි ප්රතිලාභ ලබාදීමයි. ඒ වෙනුවට අස්වැසුම ආරම්භ කර තිබෙනවා. සමාජ ආරක්ෂණ ප්‍රතිලාභය අවම රුපියල් දසදහසක් දක්වා වැඩි කර අවශ්‍ය අයට සමාජ ආරක්ෂණ හා සුබසාධනය ලබාදෙනවා. අස්වැසුම වැඩසටහන නතර කරන්න අපේ අදහසක් නැහැ. අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට දේශපාලන මැදිහත්වීම් සිදු වූ බවට අභියාචනා ඉදිරිපත් කරලා තිබෙනවා. අවශ්‍යම අයට අස්වැසුම නැහැ කියලත්, අවශ්‍ය නැති අයට අස්වැසුම තියෙනවා කියලත් චෝදනාවක් තියෙනවා. ඉදිරියේදී නිවැරදි නිර්නායක ඔස්සේ අස්වැසුම ප්‍රතිලාභය අවශ්‍ය අය තෝරාගැනීමට පියවර ගන්නවා.”
ඡායාරූපය – ශාන් රූපස්සර