කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උණගොල්ලෑව ඇතුළු ගම්මාන රැසකට මේ දිනවල වන අලින්ගෙන් දැඩි ලෙස තර්ජන එල්ලවන බවට ගම්වාසීහු මැසිවිලි නඟති.
මොරගොඩ, කරදකවැව, බැදිවැව, ඇතුළු ගම්මානවලට මේ දිනවල වනඅලි දිවා කාලයේදී පවා කඩා වදිති. එබැවින් පොල්,කෙසෙල්, අඹ ආදී ගෙවතු වගා රැසක් විනාශ වී ඇති අතර, මහා පරිමාණ බඩඉරිඟු හේන් සහ කුඹුරු ආදිය රැක ගැනීමට රාත්‍රී කාලයේ මෙන්ම දිවා කාලයේ ද ගම්වාසීහු දැඩි වෙහෙසක් දරති. මොරගොඩ වනජීවී කාර්යාලය අසලින් පෙරේදා (19) සවස 4.30ට පමණ වන අලි විසි දෙනකුගෙන් පමණ සමන්විත වනඅලි රංචුවක් රිටිගල රක්ෂිතයේ සිට ගම්මානයට කඩා වැදුණු අතර, ගම්වාසීන් වනජීවී කාර්යාලයට ගොස් වන අලි පලවාහරින ලෙස ඉල්ලීම් කර තිබේ. එහිදී මොරගොඩ වනජීවී කාර්යාලයේ ස්ථාන භාර අඩවි වන නිලධාරීවරයා ගම්වාසීන්ට පවසා ඇත්තේ “අලි රංචුවක් ආවා නම් තමුසෙලා උන් ටිකට ඉංග්‍රීසි හරි දෙමළ හරි පංතියක් දානවා, අපිට අලි එළවනවට වඩා වැඩ තියනවා..” යනුවෙනි. තවද ගම්වාසීන් මැසිවිලි නඟන්නේ, කෙතරම් අලි පැමිණියද සතියට අලි වෙඩි 2ක් පමණක් වනජීවී කාර්යාලයෙන් ලබාදෙන බවයි. එම අලි වෙඩි දෙක එක් දිනකටවත් ප්‍රමාණවත් නොවන බව ඔවුහු පවසති. වනඅලි පැමිණි විට දැනුම් දිය යුතු නිලධාරීන්ට දැනුම් දුන් පසු එම නිලධාරීන් තමන්ට බැණ වැදී ඔවුන්ගේ රාජකාරිය පැහැර හරිමින් සිටින බැවින් වන අලින්ගේ කරදරය කියන්නට කෙනකු තමන්ට නොමැති බවද ගම්වාසීහු පවසති.
අප මේ සම්බන්ධයෙන් මොරගොඩ වනජීවී කාර්යාලයෙන් දුරකතනය ඔස්සේ විමසීම් කිරීමට උත්සාහ කළද එහි නිල දුරකතන අංකය ක්‍රියාවිරහිත කර ඇත. පසුව මේ සම්බන්ධයෙන් අනුරාධපුර කලාප වනජීවී කාර්යාලයෙන් විමසීමක් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ එහි දුරකතන ක්‍රියාකරු පවසා සිටියේ මාධ්‍යයට ප්‍රකාශ ලබා නොදෙන බවයි.