වට්ස්ඇප් ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී රුපියල් පනස් දාහක (50,000) වංචාවක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 25,000ක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (20) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ දෙහිවල ප්රදේශයේ පදිංචි තිළිණ ධනංජය සහ කසුන් සුරංග යන සැකකරුවන්ය.
ඉකුත් ඔක්තෝබර් මස 20 වන දින කොළඹ ප්රදේශයේ පදිංචි අලුත්ගේ විමුක්ති ජනාදර යන පැමිණිලිකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
මෙම පැමිණිල්ලකරු වට්ස්ඇප් සමූහයකට එක් වූ පසු පැමිණිලිකරුගේ වට්ස්ඇප් දුරකතනයට සූම් තාක්ෂණය ඔස්සේ ලින්ක් එකක් යවා ඒ ඔස්සේ OTP කේත අංකය ලබාගෙන රුපියල් 50,000ක මුදලක් බැංකු ගිණුමෙන් ලබාගෙන තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙලෙස ගිණුම් හැක් කර OTP අංක ලබාගෙන මුදල් ජාවාරම් කිරීම මේ වන විටත් ශීඝ්‍ර වශයෙන් ලංකාව තුළ සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශනය කර ප්‍රගති වාර්තාවක් අධිකරණයට ලබාදීමටත් සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීමටත් මහේස්ත්රාත්වරයා නියෝග කළේය.