ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජිකයන් වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අයවලුන්ට එරෙහිව පනවා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන අප්‍රේල් මස 23 කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (20) නියෝග කළාය.
සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙමින් කෙටි දිනයකින් නඩුව කැඳවන ලෙස කළ ඉල්ලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළාය.
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් සමාගම් සමූහයේ අධිපතිනි නැසීගිය සෝමා එදිරිසිංහ මහත්මිය ඇතුළු දරුවන් සිව්දෙනා තැන්පත්කරුවන් 23,000කගේ පමණ මුදල් වංචා කරමින් දෙස් විදෙස් දේපල මිලදී ගෙන තම සුඛවිහරණය සඳහා යොදාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන අනාවරණය කර ඇත.
තැන්පත්කරුවන් විශාල පිරිසකගෙන් ලැබුණු පැමිණිලි ප්‍රකාරව පොලිස්පතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත විමර්ශන සිදු කරනු ලබයි.
ඊ.ටී.අයි. සමාගම මහබැංකුවේ ලියාපදිංචි සමාගමක් වුවද නීති විරෝධී අයුරින් බිලියන 6.480ක්ද ස්වර්ණමහල් ආයතනය ස්වර්ණාභරණ විකුණන මුවාවෙන් මුදල් උපයා නීති විරෝධී ගිණුමකට රුපියල් බිලියන 7.2ක් බැර කරගෙන ඇති බවත් මේ මුදල් බැර කරගෙන ඇත්තේ සතිඅන්ත පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් බවද විමර්ශන අනාවරණය කර ඇත. නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවෝ විවෘත අධිකරණයේ පෙනී සිටියහ.