මන්නාරම රෝහලේදී දරු ප්‍රසූතියේදී මියගිය මවගේ හා දරුවාගේ මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ මන්නාරම රෝහලේදීම පැවැත්වීමට එරෙහිව ප්‍රදේශවාසීන් පන්සියයකට වැඩි පිරිසක් රෝහලට කඩාවැදී පෙරේදා (20) විරෝධතාවක නිරත වූහ. පළාතේ ආගමික නායකයන්ගේද සහාය ඇතිව දැඩි වර්ෂාව මධ්‍යයේ පැමිණි මේ පිරිස රෝහල් භූමියේ සිට කෑ කෝ ගසමින් මියගිය කාන්තාවට හා දරුවාට සාධාරණය ඉටු කර දෙන්නැයි ඉල්ලා සිටියහ.
මන්නාරම රෝහලට කඩාවැදුණු පිරිස පාලනය කිරීමට මන්නාරම පොලීසියේ නිලධාරින්ට දැඩි අපහසුතාවක් ඇති වූ අතර, පොලීසිය හා රෝහලේ පාලන අධිකාරිය සාකච්ඡා කිරීමෙන් පසුව ගත් තීරණ කීපයක් මත ජනතාව මන්නාරම රෝහල් භූමියෙන් ඉවත්ව ගියහ.
මියගිය දෙදෙනා සම්බන්ධයෙන් වූ සියලු වෛද්‍ය පරීක්ෂණ යාපනය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට තීරණය කර ඇති අතර, මේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඍජු පරීක්ෂණයක් හා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් තවත් පරීක්ෂණයක් පැවැත්වීමටත් තීරණය වී තිබේ.
එම පරීක්ෂණවලදී යම් අයකු වරදකරුවකු වුවහොත් ඔහුගේ තරාතිරම නොබලා දඬුවම් කිරීමට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස විශේෂ කමිටුවක්ද පත් කර තිබේ.
ඒ අනුව මියගිය මවගේ හා ප්‍රසූත කළ දරුවාගේ මෘත ශරීර වැඩිදුර පරීක්ෂණ කටයුතුවලට යාපනය ශික්ෂණ රෝහල වෙත දැඩි ආරක්ෂාව මැද රැගෙන ගොස් තිබේ.
මියගිය කාන්තාව දරුවා ප්‍රසූත කිරීමට ආසන්නයේදී කෑ ගැසුවත් වාට්ටුවේ රූපවාහිනිය නරඹමින් හා ජංගම දුරකතන භාවිත කරමින් සිටි හෙදියන් හා අනෙක් කාර්ය මණ්ඩලය ඒ ගැන කිසිම තැකීමක් නොකළ බවට ද ජනතාවගෙන් චෝදනා එල්ල වී තිබේ.