Home » ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට කාන්තාවන් 22ක් තේරී පත්වීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට කාන්තාවන් 22ක් තේරී පත්වීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක්

හිටපු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

by mahesh
November 22, 2024 1:00 am 0 comment

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට කාන්තාවන් 22ක් තේරී පත්වීම රටක් ලෙස ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

එම සුබ පැතුම් පණිවුඩයේ මෙසේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක කාර්යයට කාන්තාවන් 22 දෙනෙකු තේරී පත්වීම රටක් ලෙස ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්.

යහපත් ආණ්ඩුකරණයකට මෙන්ම පරමාදර්ශී පාර්ලිමේන්තුවකට මෙය සුවිශේෂී වන අතර ඒ තුළින් ලෝකය තුළ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපීපෙනෙන වෙනසක් සිදු කළ රටක් ලෙස පිළිගැනීමකට ලක්වනු ඇති. ප්‍රජාතන්ත්‍රවාදයේ සාරවත් පිළිඹිබුවක් මේ තුළින් ඉස්මතු වන අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇති කිරීමේ ලෝක දෘෂ්ටිය වෙත දැක්වූ යහපත් ප්‍රතිචාරයක් ලෙසද හඳුනාගත හැකිය.

කාලයක් පුරා කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය වර්ධනය කර ගැනීම සඳහා අප ගෙන ගිය සමාජ දේශපාලන කතාබහ මේ අයුරින් හෝ ඵලදැරීම පිළිබඳ නිහතමානී සතුටක් හා ආඩම්බරයකින් පසු වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඒ වෙනුවෙන් දැක්වූ කැපවීමද කෘතවේදීව සිහිපත් කරමි. වැඩිම මන්ත්‍රීවරියන් පිරිසක් එකවර බිහිකළ ශ්‍රී ලංකාවේ පළමු දේශපාලන පක්ෂය ලෙස ජාතික ජනබලවේගය ඉතිහාසගත වන අතර ඒ සඳහා ඔවුන්ට සුබපතමි. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමියගේ කැපවීමද අගය කරමි.

ආණ්ඩුකරණයට, නීති සම්පාදනයට කාන්තාවගේ ඍජු සහභාගිත්වය ලැබීම ආදර්ශවත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට මෙන්ම හොරකම, වංචාව, දූෂණය සහ නාස්තිය අවම කර ගැනීමට මහඟු අවස්ථාවක් ඇතිවන බව මම විස්වාස කරමි. ඒ සඳහා කාන්තාවන්ගේ සකසුරුවම් ඥානය උපයෝගි කරගත හැකි වන බව ද විස්වාස කරමි.

කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය වැඩිකිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් පාර්ලිමේන්තුවෙන් පිටත සිට හෝ ලබාදීමට මම සූදානමින් සිටින අතර මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියලුම මන්ත්‍රීවරියන්ට යහපත් රටක්, යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT