Sunday, May 11, 2025
Home » කෝටි 500ක අයිස් හෙරොයින් අල්ලයි

කෝටි 500ක අයිස් හෙරොයින් අල්ලයි

ප්‍රාෙද්ශීය පොලීසියකින් ඇල්ලූ වැඩිම කුඩු තොගය

by mahesh
November 22, 2024 1:00 am 0 comment

ගන්දර සමූහ - ජයසිරි පේදුරුආරච්චි

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මඟින් සිදු කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 240කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දසදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මත්ද්‍රව්‍ය ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමෙන් පසු එය නිරීක්ෂණය කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ද මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත පැමිණ සිටියහ.

එහිදී අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වෙ‍ළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි පන්සීයක් බවට මූලික විමර්ශනයේදී හඳුනාගත් බවත් මෙය ප්‍රාදේශීය වශයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය බවත්ය.

මුහුදු මාර්ගයෙන් ගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක් පිළිබඳ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාට ලද තොරතුරක් මත මාතර හා තංගල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් හා මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේ හා කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියංකර මහත්වරු ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් ගන්දර නූන්නවැල්ල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් පස්දෙනකු (05) අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත මහරගම, දෙහිවල හා ගල්කිස්ස ප්‍රදේශවලදී සිදුකළ මෙහෙයුමකදී ගල්කිස්සේදී තවත් එක් සැකකරුවකු අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් ලද තොරතුරු මත රත්මලාන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී තවත් සැකකරුවන් දෙදෙනකු හා මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් මෝටර් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත ගාල්ල නාගොඩ ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී මත්ද්‍රව්‍ය තොගය සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය පැකට් එකසිය හැටක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හැත්තෑ හතරක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. මෙම මත්ද්‍රව්‍ය වර්ග දෙකෙහිම සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 240කට අධික බවට පොලීසිය මඟින් හඳුනාගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී යක්කලමුල්ල ප්‍රදේශයේදී තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, තංගල්ල හා මාතර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහත්වරුන්ගේ උපදෙස් හා මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේ, පොලිස් පරීක්ෂක රත්නායක, කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති අශෝක ප්‍රියංකර, උප පොලිස් පරීක්ෂකවරුන් වන සංජීව, මිහිරංග, පොලිස් සැරයන්වරුන් වන (13467) බුද්ධික, (68160) වසන්ත, (37066) පතිරණ, (48991) ලසන්ත, (15043) නෙවිල්, පොලිස් කොස්තාපල්වරුන් වන (72982) ප්‍රසාද්, (92908) ක්‍රිෂාන්, (10390) බණ්ඩාර, (203841) රත්නායක, (104298) ප්‍රියදර්ශන, (34912) පියරත්න, (93795) නිමේෂ්, (95795) අරුණ, (72701) ධනුෂ්ක, (37078) ජනිත් හා පොලිස් කොස්තාපල් (රියැදුරු) (78926) සම්පත් යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT