Sunday, May 11, 2025
Home » කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී

by mahesh
November 22, 2024 1:00 am 0 comment

නෙරංජලා වික්‍රමසිංහ

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වූ තිලකා ජයසුන්දර මහත්මිය ඊයේ (21) එම අමාත්‍යාංශයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කළාය.

ඇය මීට පෙර ද 2022 වසරේ සිට 2024 වසර දක්වා අවුරුදු 2ක කාලයක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය හොබවමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කර තිබේ.

තිලකා ජයසුන්දර මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන අතර 2021 වසරේ රජයේ කාර්යසාධන කළමනාකරණය සහ මිනුම්කරණය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය විශිෂ්ටතා සම්මානලාභිනිය ද වෙයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, සුළු අපනයන භෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරිය ලෙස ද මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ද කටයුතු කර ඇති තිලකා ජයසුන්දර මහත්මිය ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) පළමු කාන්තා සභාපතිනිය වූවාය. තිලකා ජයසුන්දර මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිනියක වන අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධිය හිමි කරගෙන ඇති ඇය ඵලදායිතා ප්‍රවර්ධන ව්‍යාපාරයේ ජාත්‍යන්තර සහ ජාතික අත්දැකීම් රාශියක් ඇති පළපුරුදු නිලධාරිනියකි.

එසේම තිලකා ජයසුන්දර මහත්මිය ව්‍යාපෘති කළමනාකරණය, ඵලදායිතා ප්‍රවර්ධනය, රාජ්‍ය ප්‍රතිපත්ති, පරිපාලනය, සාමාන්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, සැලසුම්කරණය සහ නියාමනය, උපායමාර්ගික කළමනාකරණය, නායකත්වය, දැනුම කළමනාකරණය, ලීන් කළමනාකරණය, හරිත ඵලදායිතාව, රාජ්‍ය අංශයේ කාර්යසාධනය, සේවා නවෝත්පාදනය සහ මානව කේන්ද්‍රීය ඵලදායිතාව යනාදි ක්ෂේත්‍ර රැසක විශේෂඥ දැනුම ලබා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT