Saturday, May 10, 2025
Home » ශ්‍රී ලංකා ක්‍රිකට් දැහැමි පිළිවෙතක

ශ්‍රී ලංකා ක්‍රිකට් දැහැමි පිළිවෙතක

විනය අංක එකට: කරුණාව-දයාව වගේම ක්‍රීඩකයන්ට විශ්වාසය දුන්නා - සනත් ජයසූරිය

by mahesh
November 22, 2024 1:01 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය හා තේරීම් කමිටු සභාපති උපුල් තරංග යන මහත්වරු මාධ්‍ය හමුවේදී.

විනය යනුවෙන් හැඳින්වෙන්නේ සංයමය හෙවත් හික්මීමයි. ක්‍රීඩාව තුළින් බිහිවන දැහැමි සමාජයක දයාව හා කරුණාව නිරන්තරයෙන් පැතිරෙයි. කරුණාව, දයාව ආදියෙන් මෛත්‍රී සිතුවිලි පහළවන බව සෑම ආගමකින්ම කියැවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ වර්තමානයේ විනය අංක එකට ඇති බවත්, එයට අමතරව ක්‍රීඩකයන් වෙතට කරුණාව හා දයාව නොඅඩුව ලබාදී ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසයි. මෙවැනි දේ තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සාර්ථක ගමනකට පිවිස ඇතැයි ජයසූරිය මහතාගේ අදහස වේ.

“මා පුහුණුකරු වුණාට පසු ලොකු දෙයක් කරලා නෑ. පොඩි පොඩි දේවල් ටිකක් කළා. මොකද මේ ඉන්නේ පොඩි කාලේ ඉඳලා ක්‍රිකට් ගහපු අය. මේ අය දන්නවා කළ යුතු දේ මොකක්ද කියලා. ඔවුන්ට අවශ්‍ය විශ්වාසය දුන්නා. කරුණාව, දයාව ඔවුන්ට අවශ්‍යයි. හොඳ විනයක් අවශ්‍යයි. මේ ඔක්කොම එකතු වුණාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. අපි හොඳ ගමනක් යනවා” ජයසූරිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ තවත් දින 6කින් ආරම්භ වන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය පිළිබඳ ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ තරග දෙකකින් සමන්විත දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මේ 27 දා ඩර්බන්හිදී ආරම්භ වන අතර, දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 5 දා සිට සාන්ත ජෝජ් පාක්හිදී පැවැත්වේ. මේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් දසදෙනකු මේ වන විට දකුණු අප්‍රිකාවට ගොස් සිය පුහුණුවීම් අරඹා ඇති අතර, අනෙකුත් ක්‍රීඩක පිරිස අද දකුණු අප්‍රිකාව බලා පිටත් වේ.

“මිලියන 22ක් ජනතාව අපි නියෝජනය කරනවා. ක්‍රිකට් ඒ ජනතාවට සමීප විලාසිතාවක්. මා ක්‍රීඩා කළේ ඒ විදිහට හිතලා සියයට සියයක් රට වෙනුවෙන් දීලා. මොකද රටේ ජනතාව අපේ සෑම ක්‍රීඩකයෙක් දෙසම බලා ඉන්නවා. තරග දිනන්න පරදින්න පුළුවන්. නමුත් ආකල්ප වෙනස් කරගන්න හොඳ නෑ. විස්සයි20 තරගයක් තියෙන්නේ පැය 3යි. එක්දින තරගයක් නම් පැය 6යි. ඒ වෙලාවට සෑම ක්‍රීඩකයෙකුම සියයට සියයක් තමන්ගේ උපරිමය දෙන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍යයි” ජයසූරිය මහතා සඳහන් කළේය.

දකුණු අප්‍රිකාවේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක් වන නීල් මැකෙන්සි සමඟ මේ දිනවල ක්‍රීඩකයන් පුහුණුවීම්වල යෙදීම ඉදිරි ටෙස්ට් තරග දෙකට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ශ්‍රී ලංකා පුහුණුකරු විශ්වාසය පළ කළේය.

“එංගලන්තයේදී ඉයන් බෙල්ගේ සහයෝගය අපි ලබා ගත්තා. ඒක අපිට වාසියක් වුණා. දකුණු අප්‍රිකාවේ තණතිලි, ඒ වගේම ක්‍රීඩා පිටිවල තත්ත්වයන් කල් ඇතිව අපට දැන ගන්න පුළුවන් වෙනවා. ඒ නිසායි මැ‍කෙන්සිගේ සහයෝගය අපි ලබා ගත්තේ. මොනවා වුණත් හැම තරගාවලියක්ම අභියෝගයක්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළත් අපි ලේසියට ගත්තේ නෑ. ටෙස්ට් තරග දෙකත් අපිට ලොකු අභියෝගයක්. රට වෙනුවෙන් හොඳම දෙයක් කළ යුතුයි” ජයසූරිය මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා පැවසුවේ දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරග දෙකේදී කණ්ඩායමේ සංයුතිය අතීත දක්ෂතා සැලකිල්ලට ගෙන සකස් කළ බවයි. එමෙන්ම ක්‍රීඩකයන්ට දිගු කාලයක් ක්‍රීඩා කිරීමට විශ්වාසය ගොඩ නඟා ඇතැයි ද තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.

“තරගයක් දෙකක් දීලා ක්‍රීඩකයෙක් එළියට දාන ප්‍රතිපත්තියේ අපි නෑ. අපි වැඩ භාර ගන්නකොටත් ඒ බව කිව්වා. ඉන්න ක්‍රීඩකයාට පමණක් නොවෙයි එන අලුත් ක්‍රීඩකයාටත් ඒක ප්‍රශ්නයක්. අමතර පීඩනයක් එනවා. දැන් නිදහස තියෙනවා දක්ෂතා අතරට එන්න. මෙයට කලින් දකුණු අප්‍රිකාවේ පැවැති ටෙස්ට් තරගාවලියේදී ලසිත් ඇඹුල්දෙනිය හොඳින් කළා. ඒ නිසා ඔහු කණ්ඩායමට ගත්තා. සදීරව අංක 7 බැට් කරලා කඩුලු රකින්නා ලෙස යොදා ගන්නවා. නිශාන් මධුෂ්ක ආරම්භක පිතිකරුවෙකු ලෙස එක්ව සිටිනවා” උපුල් තරංග මහතා පැවසීය.

ශ්‍රී ලංකා පිල එක් අවස්ථාවක ලෝකයේ පන්දු රැකීම අතින් හොඳම ස්ථානයක සිටි බවත්, එම තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත් ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT