වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගි මාර්ග රක්ෂිතයේ පිහිටි නිදන් ඇතැයි කියන ස්ථානයේ කැණීම් කටයුතු ඊයේ (22) පස්වරුව දක්වාම සිදු කෙරුණු අතර, නිදන් වස්තු ඇතැයි සැක කරන දැවැන්ත ගල් කුළක් ගොඩගෙන පුපුරවා පරීක්ෂා කිරීමට ගත් උත්සාහය ව්‍යාර්ථ විය. අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මේ කැණීම සිදු වූයේ දෙවැනි දිනටය.
පෙරවරුවේ සිට මෙහි කැණීම් සිදු කිරීමෙන් පසු අඩි විස්සකට පමණ යටින් දැවැන්ත ගල් කුළක් හමු වූ අතර, එය ගොඩ ගෙන පුපුරවා පරීක්ෂා කිරීමට තීරණය කෙරිණි. මාර්ග සංවර්ධන අධිකාරියේ දැවැන්ත දොඹකරයක් යොදවා එය ගොඩගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ ගත්තත් තිබූ ස්ථානයෙන් වෙනත් ස්ථානයකට පෙරළීම හැර ගොඩ ගැනීමට නොහැකි විය. මේ හේතුවෙන් ප.ව. 4.10ට පමණ ගල් කුළ ගොඩගැනීමේ උත්සාහය අත්හැර දමනු ලැබූ අතර, නිදන් වස්තු ඇතැයි සැක කෙරෙන ගල්කුළ කැණීම් සිදු කළ වළ ඇතුළතදීම පුපුරවාහැර පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව අදාළ නිලධාරීහු සඳහන් කළහ. ඒ අනුව කැණීම් සිදු කළ දැවැන්ත වළෙහි පිරී තිබූ ජලය ඉවත් කිරීමේ කටයුතු ප.ව. 5.00 පමණ දක්වා සිදු කළ අතර, පසුව ඒ කටයුතු නවතා දැමිණි. අධිකරණයට දැනුම් දී කැණීම් අදද සිදු කිරීමට නියමිතය.
අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් ප්‍රනාන්දු, වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංග රංගන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීහු, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු අධිකරණයේ නියෝග මත මේ කටයුතු මෙහෙයවූහ.