රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුජීව අමරසේන මහතා වහාම ඉවත් කරන ලෙස ඉල්ලමින් රුහුණ විශ්වවිද්‍යාලයේ ගුරුවරු, සිසුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරම්භ කර ඇති වැඩවර්ජනය ඊයේ (22) දිනයේත් ක්‍රියාත්මක විය. රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස සුජීව අමරසේන මහතා පැමිණි දිනයේ සිට මේ දක්වා විශ්වවිද්‍යාලයට සිදු කර ඇත්තේ විශාල හානියක් බවත් විශ්වවිද්‍යාල ඉතිහාසයේ නරකම පාලන කාලය මෙය බවත් ආචාර්ය සමිති සංගමය පවසයි.
උපකුලපතිවරයාගේ පීඩාකාරී හා මර්දනකාරී පාලන කටයුතු හේතුවෙන් මේ වන විට සිසුන් 550කට අධික සංඛ්‍යාවකගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබේ. තවත් පිරිසකගේ පන්ති තහනම් කිරීමටත් කටයුතු කර ඇත. ඔහුගේ අලුත්ම පීඩාකාරී ක්‍රියාකාරකම ලෙස විශ්වවිද්‍යාලයේ සුබසාධන සේවා ඉතා අවිධිමත් හා නීති විරෝධී අයුරින් ක්‍රියාත්මක කරමින් ඇති බව සිසුන් හා අනධ්‍යයන කාර්යමණ්ඩලය උපකුලපතිවරයා වෙත කර ඇති ප්‍රධානතම චෝදනාවයි.
පසුගිය (19) දින වැඩවර්ජනය ආරම්භ කිරීමෙන් පසු අධ්‍යපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙෙණවිය එදින සවස ආචාර්ය සමිති සම්මේලනයේ පිරිසක් හමුවී උපකුලපතිවරයා හා සම්බන්ධ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇති අතර, සාර්ථකභාවයක් පෙන්වා ඇති එම සාකච්ඡාවේ දී සිදුවීම පිළිබඳ අධ්‍යයනය කොට තීරණයක් දීම සඳහා දින කිහිපයක් ලබාදෙන ලෙස ප්‍රකාශ කර ඇත. ඒ සඳහා එකඟතාව පළ වූ බව රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු ලේකම් කථිකාචාර්යය රොහාන් ලක්සිරි මහතා පැවසුවේය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, උපකුලපතිවරයා ඉවත් කිරීමට එක දිනක් හෝ ගතවීම තුළින් පද්ධතියට විශාල හානියක් සිදු කළ හැකි බවයි. තම කණ්ඩායම් සිදු කරන චෝදනා පැහැදිලි හා ඔප්පු කළ හැකි ඒවා බැවින් ලොකු පරීක්ෂණයකට නොයා තීන්දුවක් ගත හැකි බව ද රොහාන් ලක්සිරි මහතා පැවසුවේය.
පසුගිය කාලයේ විටින් විට පවත්වන ලද පරීක්ෂණ තුළින් උපකුලපතිවරයා විශ්වවිද්‍යාලයටත්, අධ්‍යයන, සිසුන් හා අනධ්‍යයන කාර්යමණ්ඩලයටත් සිදුකර ඇති හානිය මැනවින් ඔප්පු වී ඇති බව ද පෙන්වා දුන් කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා වැඩිදුරටත් කියා සිටියේ, අමාත්‍යාංශයෙන් සිදු කරන විමර්ශනවලින් පසු උපකුලපතිවරයා ඉවත් කරන තෙක් මෙම වර්ජනය අඛණ්ඩව පවත්වන බවයි. එමෙන්ම පරීක්ෂණ පැවැත්වීමට පෙර උප කුලපතිවරයා වැඩ තහනමකට ලක් කොට පරීක්ෂණ පැවැත්වීම වඩාත් ඵලදායක වනු ඇති බව ද රොහාන් ලක්සිරි මහතා පවසයි.
ඊයේ (22) දහවල් කාලයේදී කරාපිටියේ පිහිටි රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිරිපිට උපකුලපතිවරයා වහාම ඉවත් කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය සිසුන්ගේ උද්ඝෝෂණයක්ද පැවති අතර, මේ වන විට මාතර වැල්ලමඩමේ පිහිටි රුහුණ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට අට්ටාල දෙකක් සාදා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අඛණ්ඩ විරෝධතාවක යෙදී සිටිති.