Tuesday, May 6, 2025
Home » බෙදීමේ දෙකොන විලක්කුව හා බඩගෝස්තරවාදී දේශපාලනය

බෙදීමේ දෙකොන විලක්කුව හා බඩගෝස්තරවාදී දේශපාලනය

by manjula
November 25, 2024 12:32 am 0 comment

මේ දිනවල ඇතැමුන් විසින් ආණ්ඩුවට එල්ල කරමින් සිටින චෝදනාවන් දෙකක් තිබේ. එකක් නම් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළ මුස්ලිම් ජනයා නියෝජනය කරමින් කිසිවෙකුත් නොමැති බවයි. එසේම නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ කාන්තාවන් නියෝජනය නොවන බවයි. අනෙක් චෝදනාව නම් උතුරේ බෙදුම්වාදයට ඉඩදෙමින් දමිළ ජනයාට විශේෂ වරප්‍රසාද ලබා දීමට කටයුතු සැලසුම් කරන බවයි. මෙම අභූත චෝදනාවලට පිළිතුරු දීමට වඩා සලකා බැලිය යුත්තේ මෙහි පවතින පදනම කුමක්ද යන්නය.

අප කැමැති වුවද, අකමැති වුවද අප ජීවත්වන්නේ අප බෙදා වෙන් කළ සමාජ ක්‍රමයක් තුළය. එය වාර්ගික, ආගමික, කුල, භාෂා, සංස්කෘතික, ග්‍රාමීය හෝ නාගරිකභාවය, පන්ති විෂමතා ආදී බොහෝ වර්ගීකරණයන් තුළ අත්දැකිය හැකිය. පාලක පංතියේ වාසියට රටවැසියන් බෙදා වෙන් කිරීමේ ආදර්ශය ලබා දුන්නේ බ්‍රිතාන්‍යයන් විසිනි. ඔවුන් විසින් හඳුන්වා දුන් විවිධ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ තුළින් වැසියන් බෙදා වෙන් කිරීම සිදුකරන ලදී. නිදසුනක් ලෙස කෝල්බෲක් ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් 1833දී ඔවුන් විසින් ව්‍යවස්ථාදායක සභාව බෙදනු ලැබුවේ නිල ලත් 6 දෙනෙකු, නිල නොලත් 9 දෙනෙකු වශයෙනි.

එසේම නිල නොලත් 6 දෙනා යුරෝපීයයන් 3 දෙනෙකු මෙන්ම සිංහල, ද්‍රවිඩ, බර්ගර් අය වෙනුවෙන් එක් අයෙකු බැගින්ද, යළි බෙදා වෙන් කරන ලදී. මෙම වැරදි ආදර්ශය එතැන් සිට ක්‍රියාත්මක වූ සෑම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයකම දක්නට ලැබුණු අතර අද දක්වාම ඉතුරුවී ඇත්තේ එහි නෂ්ටාවශේෂයන්ය. වසර දහස් ගණනක් තිස්සේ මෙම තත්ත්වය සමාජයේ ගැඹුරුම ව්‍යුහයන් දක්වාම මුල්බැසගෙන ඇති බැවින් වාර්ගික අනෙකාගෙන් තොරව දේවල් දෙස බැලීමට පවා පවත්නා හැකියාව අවම වී තිබේ. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට, බටහිර ගැතිකමට බැට දෙන අතරේම වාර්ගිකත්වය මත පදනම්ව ඉල්ලීම් ඉල්ලා සිටීමේ දෙබිඩිකම බොහෝ දෙනකුට නොවැටහෙන්නේ ඒවා තමන්ගේද, ලේ, මස්, ඇට මිදුළු දක්වාම කිඳාබැස ඇති නිසාය.

අකුරණ හමුව

අමාත්‍ය විජිත හේරත් පසුගියදා අකුරණ ප්‍රදේශයේදී මුස්ලිම් ජනයා හමුවූ අවස්ථාවේදීද, මුස්ලිම් ජාතිකයෙකු කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරන්නැයි ඉල්ලීමක් මතු වූයේද, ඒ නිසාමය. එහෙත් අමාත්‍යවරයා විසින් මෙම අවස්ථාවේදී තමන් 2004 වසරේදී සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, මුස්ලිම් ජාතික දැරියන්ට හිජාබය සඳහා රජයෙන් රෙදි ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කළ බව සිහිපත් කරන ලදී. මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් බොහෝ ගණනක් ඊට පෙරාතුව පැවති කැබිනට් මණ්ඩල ගණනාවක සිටියද, ඔවුන් විසින් එවැන්නක් කල්පනා කර නොතිබුණු බව අමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වාදෙන ලදී.

“අම්පාරේ අපිට මුස්ලිම් මන්ත්‍රි කෙනෙක් ආවේ නැහැ. හැබැයි අපි ජාතික ලැයිස්තුවෙන් ආදම් බාවා පත් කළා. ඕක ඔහොමම හිතන එක තමයි යන්නේ වැරදි පැත්තට. බස්නාහිර පළාතේ ගවනර්, මුස්ලිම් කෙනෙක් තමා පත්කළේ. දැන් මේ ඇමැති කෙනෙක් නෑ කියලා ඒකේ එල්ලෙන්න එපා. අපි ඒ ඕන අය ඕන තැන්වලට පත්කරලා තිබෙනවා.Ó ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. සැබවින්ම අවශ්‍ය වන්නේ අවශ්‍යතාව අනුව සුදුසුම කෙනා පත්කිරීම, ඔහුට හෝ ඇයට වගකීම් පැවරීම මිස ඔහුගේ හෝ ඇයගේ වාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව තනතුරු ප්‍රදානය හෝ වගකීම් පැවරීම නොවේ. අප විසින් කළ යුත්තේ වෙනස්කම් තවදුරටත් තීව්‍ර කිරීම, නඩත්තු කිරීම වෙනුවට වෙනස්කම්වලට ගරු කරන හා සමානාත්මතාවයෙන් සලකන සමාජයක් නිර්මාණය කිරීමය.

එවැන්නක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීම හෝ රාජ්‍ය නිල නිවේදන නිකුත් කිරීම නොව ප්‍රායෝගිකව ක්‍රියාකිරීම වැදගත්ය. රජයේ ක්‍රියාමාර්ග දෙස බැලීමේදී එවැනි වැඩපිළිවෙළක් වෙනුවෙන් අවතීර්ණවී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එහෙත් අතිසාම්ප්‍රදායික ලෙස සිතීමටත්, ක්‍රියාත්මක වීමටත් වසර ගණනාවක් තිස්සේ පාලකයන් විසින්ද, සමාජ ක්‍රමය විසින්ද, පුරුදු පුහුණු කර ඇති නිසාම අප අල්ලන්නේම වැරදි කොනෙන්ය.

වාර්ගික බෙදීමේ නියෝජනය

යාපනයෙන් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වූ වෛද්‍ය අර්චුනා රාමනාදන්ද, මෙම වාර්ගික බෙදීමේ අපූරු නියෝජනයක් බැව් අප විසින් පිළිගත යුතුය. පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී ඔහුද, ඇතුළුව මන්ත්‍රීවරුන් 165 දෙනකුට වඩා නවක මන්ත්‍රීවරුන් පැමිණියද, ඔහු විසින් පමණක් පළ කළ ප්‍රදර්ශනකාමී නොහික්මුණුකම් අවිහිංසක ක්‍රියාවක් නොව තමා විසින් නඩත්තු කළ වාර්ගික ඡන්ද පදනමේත්, අන්තවාදී දේශපාලන මතවාදයේත් දිගුවකි. ඒ සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව ඇති බැවින් නීත්‍යනුකූලව ගනු ලබන ක්‍රියාමාර්ග කෙබඳු වේදැයි අනාවැකි පළ කළ නොහැකිය.

නිදහසින් පසු වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව අත්දැක ඇත්තේ තට්ටු මාරු දේශපාලන ක්‍රමයකි. ඒ තුළ දකුණේ දේශපාලන නායකත්වය සඳහාත්, ආණ්ඩු බලය ලබා ගැනීම සඳහාත් උතුරු – නැඟෙනහිරට එක කතාවක්ද, දකුණට ඊට පරස්පර කතාවක්ද කියමින් ඡන්ද හිඟාකෑමේ නීච ප්‍රතිපත්තියක් ඔවුනොවුන් අනුගමනය කළ බව අප කාටත් හොඳින් මතකය. එහෙත් මාලිමා රජය බලය ලබාගනු ලැබුවේ එකී නීච ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොව එකී මජර දේශපාලනයට නැවතීමේ තිත තබන්නටය.

ඒ නිසාම ඉතිහාසයේ පළමුවරට කිසිදු ගිවිසුමකින් තොරව, කේවල් කිරීමකින් තොරව මඩකළපුව හැර උතුරු-නැඟෙනහිර සෑම ප්‍රදේශයකින්ම වත්මන් ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කරමින් සුහදත්වයේ හස්තය දිගුකරන ලදී. ඒ නිමා කළ බව කියන ත්‍රස්තවාදයෙන් පසු තවදුරටත් එවැනි ඛේදජනක ඉරණමක් යළි අත්නොවන්නට ක්‍රියාත්මක වීමේ වගකීම ආණ්ඩුවට තිබෙන බැව් සිහිපත් කරමිනි. විශේෂයෙන්ම අතුරුදන් වූ ඥාතීන් ගැන සෙවීම, බලහත්කාරයෙන් අත්පත් කරගත් ඔවුන්ගේ ඉඩම් ආපසු පවරා දීම, නිදහසේ හා සාමකාමීව ජීවත්වීමට පසුබිම සකස් කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ආදිය එහිදී ප්‍රමුඛය. එහෙත් වර්ගවාදයෙන්, ආගම්වාදයෙන්, බෙදා වෙන් කිරීමේ අජූත දේශපාලනයෙන් බලය පවත්වා ගත් අවස්ථාවාදීන්ද, ඔවුන්ගෙන්ම විවිධ වරප්‍රසාද ලබා බඩගෝස්තරය රැකගත් ගෝලබාලයින්ද, මෙම නව දේශපාලන සංස්කෘතියට රුචියක් නොදක්වයි. ඒ නිසාම ඔවුන් තවදුරටත් ජාතිවාදී, ආගම්වාදී විෂ බීජ වපුරමින් තවත් වසර කිහිපයකින් හෝ එහි අස්වැන්න නෙළාගන්නට පිඹුරු පත් සකසමින් සිටිනු පෙනෙයි. මේ නිසාම රජයටත්, පුරවැසියන් ලෙස අපටත් මෙම සැබෑව පොදු ජනයාට වටහාදීමේ වගකීම පැවරී තිබේ.

උතුරේ කැට්කෝවලම් ප්‍රදේශයේ හමුදා කඳවුරක් ඉවත් කර නැවත එම ඉඩම මුල් අයිතිකරුවන්ට ලබා දීමට තීරණය කර ඇතැයි පසුගියදා වාර්තා විය. යුද්ධය නිමාවී වසර 15කට වඩා ගෙවෙමින් ඇති මොහොතක උතුරු – නැඟෙනහිර ජනතාවට අයිති ඉඩම් විශාල ප්‍රමාණයක් හමුදාව සහ පොලීසිය විසින් ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරීත්වයන් සඳහා භාවිත කරමින් සිටින බව නොරහසකි. ඇතැම් ඉඩම් මිලිටරියේ ආදායම් උත්පාදනය කර ගැනීම සඳහා වන කෘෂි ෆාම් පවත්වා ගැනීමටය. ඇතැම් ඒවා වෙ‍ෙළඳ මාෆියාවටය. තවත් ඉඩකඩම්වල බ්ලොක්ගල් බිස්නස් ය. මේවා යළි එහි මුල් හිමිකරුවන්ට පවරා දිය යුතුමය. එය ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් ලබාදිය යුතු දායාදයක් නොව ඔවුන්ගෙන් උදුරාගත් අයිතිය යළි තහවුරු කිරීමක් පමණකි. ඒ අයිතිය වෙනුවෙන් ක්‍රියාත්මක වීම ජනතාවාදී රාජ්‍යයක වගකීමය. එහෙත් එලෙස ක්‍රියාත්මක වීමේදී පැරණි අවස්ථාවාදී නීච දේශපාලනයේ අවතාර යළි නැඟිටින්නට මෙම අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ දැරීම අහම්බයක් නොව අනිවාර්යයකි.

දේශපාලනික ලෙස සමතලා වූ රාජපක්ෂලාගේ ජාතිවාදය නැවත අවුළුවාලීමට දරන මෙම උත්සාහයට හොඳම නිදසුන පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂය. තමන්ගේ මන්ත්‍රී අසුනවත් දිනා ගැනීමට හැකියාවක් නොමැති නිසාම ජාතික ලැයිස්තුවෙන් රට පුරා එකතුවුණු ඡන්ද ප්‍රතිශතයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සමත්වූ ඔහු තම X ගිණුමෙහි තබා තිබූ සටහන මෙපරිදිය.

හමුදා කඳවුරු ඉවත් කිරීම

“වාර්තාවලට අනුව, උතුරේ තිබූ යුද හමුදා කඳවුරක් ඉවත් කර, එම ඉඩම් පුද්ගලයන්ට බෙදා දීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අයුරින්ම තවත් යුද හමුදා කඳවුරු විශාල ප්‍රමාණයක් ඉදිරි මාසවලදී ඉවත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇත.

හමුදා කඳවුරු ඉවත් කර ඉඩම් මුදාහැරීම ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර සමාලෝචනයකින් පසුව වගකීම්සහගතව සිදුකළ යුත්තකි. ජාතික ආරක්ෂාවට කිසියම් හෝ හානියක් මෙමඟින් සිදුනොවිය යුතු බවට අප තරයේ විශ්වාස කරමු.

ශ්‍රී ලංකාව අවුරුදු 30ක ත්‍රස්තවාදය පරාජය කළ අතර, අද සියලුම ජනතාවට නිදහසේ ජීවත් විය හැකිය. උතුරේ හෝ දකුණේ වුවද, ජාතික ආරක්ෂාව තහවුරු කර පවත්වා ගැනීම අතිශය වැදගත් බවට ආණ්ඩුව සහ ආණ්ඩුවේ නායකයින් අමතක නොකළ යුතුය.”

මෙම වාර්තාවන්හි සැබෑව නාමල් රාජපක්ෂ නොදන්නවා යැයි අපට සිතිය නොහැකිය. එහෙත් තමා ‘බබා‘ බවට පත්වෙමින් පොදු ජනයාද, බබාට අන්දවන්නට උත්සාහ දැරීම අප නිවැරදිව කියවා ගත යුතුය. සැබෑව නම් මෙම හමුදා කඳවුර පිහිටුවා ඇත්තේ නාමල් රාජපක්ෂට අයිති හම්බන්තොට ඉඩමක නොව උතුරේ දෙමළ මිනිසෙකුට අයිති කැට්කෝවලම් පිහිටි ඉඩමක බවය.

යුද්ධය නිමාවී වසර 15ට පසුවද, මෙම ඉඩමේ නියම හිමිකරුට එය පවරාදීම ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම් එහි අරුත වන්නේ වසර 15ක කාලය පුරාවමට ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට හෝ සංහිඳියාව ඇති කිරීමට පාලකයින් කර ඇති කෙංගෙඩියක් නොමැති බවය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සිය ගණනක් කළ විදෙස් සංචාරයක වියදම් පිළිබඳ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අනුර කුමාර දිසානායක විසින් විමසූ අවස්ථාවේදී එවක සභානායක දිනේෂ් ගුණවර්ධන පවසා තිබුණේ ‘ජාතික ආරක්ෂාවට තර්ජනයක්’ වන බැවින් එම තොරතුර හෙළිදරව් කළ නොහැකි බවයි. රාජපක්ෂලා තවදුරටත් මේ උත්සාහ දරන්නේ “ජාතික ආරක්ෂාව” නම් ඊනියා අදහස ඉදිරියට දමා ගෙන නැවතත් දෙමළ මිනිසාගේ අයිතීන් යටපත් කිරීමයි. ඔවුන් පීඩාවට පත් කිරීමටයි. දෙමළ මිනිසාගේ අයිතීන් ඊනියා ජාතික ආරක්ෂාව නම් තක්කඩි සළුවෙන් වැසීමයි. එබැවින් අවසාන වශයෙන් කිව හැක්කේ උතුරේ ජනයාට සාධාරණත්වය ඉටු කරන අතරේම දකුණේ බඩගෝස්තරවාදී ජාතිවාදය උපන්ගෙයිම වළ දැමිය යුතු බවය.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT