Home » සාදය නිම වී සැප රියෙන් ගෙදර එද්දී අයියා-මලෝ බුත්ගමු ඔයට වැටී අවසන් ගමන් යති

සාදය නිම වී සැප රියෙන් ගෙදර එද්දී අයියා-මලෝ බුත්ගමු ඔයට වැටී අවසන් ගමන් යති

ජීප් රිය ඔයට වැටෙන ශබ්දය අසල කත­කට ඇසී පොලී­සි­යට දැනුම් දෙයි

by thanushika
November 25, 2024 1:00 am 0 comment

මියගිය සොයුරන් දෙදෙනා

කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ කඹුරාපොළ පාලමෙන් බුත්ගමු ඔයට වැටී ජලයේ ගිලුණු සුඛෝපභෝගි ජීප් රථයක සිටි කුරුණෑගල ප්‍රකට ව්‍යාපාරික පවුලක තරුණ පුතුන් දෙදෙනා පෙරේදා (23) අලුයම අවාසනාවන්ත ලෙස දිවියෙන් සමු ගත්තේ වයඹ පළාතම සසල කරමින්ය.

කුරුණෑගල නගරයේ නොයෙල් සෙනෙවිරත්න මාවතේ පදිංචිව සිටි නිර්මාල් ධනංජය අබේරත්න (27) සහ ඔහුගේ සොයුරු ඉෂාන්ත පියුමාල් අබේරත්න (25) එසේ අවාසනාවන්ත මරණයකට ගොදුරු වූහ.⁣

කොබෙයිගනේ ප්‍රදේශයේ කුකුළු ව්‍යාපාර ඇතුළු දිවයිනේ ව්‍යාපාර රැසක් හිමි ප්‍රකට ව්‍යාපාරික පවුලක දරුවන් තිදෙනකුගෙන් දෙදෙනකුම මෙසේ මරණයට පත් විය. එම දරුවන් තිදෙනාම කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදිසිසුහු වෙති.

මරණකරුවන්ගේ පියා වන ඩබ්ලිව්.එම්. අබේරත්න මහතා වයඹ පළාතේ පවත්වාගෙන යන මහා පරිමාණ කුකුළු ගොවිපොළක් ඇතුළු ව්‍යාපාර රැසක් හිමි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඇතුගල්පුර ජාත්‍යන්තර රොටරි සමාජයේ ද ක්‍රියාකාරී සාමාජිකයකු ද වන අබේරත්න මහතා සමාජයේ කවුරුත් දන්නා හඳුනන පුද්ගලයකි.

අබේරත්න පවුලේ වැඩිමල් පුතු නිර්මාල් පියාගේ ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙන ගිය අතර දෙවැනි පුතු ඉෂාන්ත ජපානයට ගොස් එහි ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින අතර එරටින් මෙරටට විවිධ යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමෙහි නිරත ව්‍යාපාරික කටයුතු සිදු කරමින් සිට ඇත. පවුලේ බාලම සොයුරා මේ වන විට ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටී. ඉෂාන්ත කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ ඇති අතර ඔහු ආපසු ජපානය බලා යෑමට සතියක පමණ කාලයක් ඉතිරිව තිබියදී මෙම අවාසනාවන්ත මරණයට ගොදුරුව ඇත.

පසුගිය සිකුරාදා රාත්‍රියේ වෙන්නප්පුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයකට අබේරත්න මහතා තම බිරිය සහ පුතුන් දෙදෙනා සමඟ සහභාගි වී ඇත. එදින සොයුරන් දෙදෙනාම හොඳින් රැවුල් කොණ්ඩා කපා සූදානම්ව සාදය සඳහා ගොස් ඇති බව ද කියයි.

 

සාදය අවසන්ව මවුපියන් වෙනත් වාහනයකින් කුරුණෑගලට නොගොස් කොබෙයිගනේ පිහිටි ඔවුන්ගේ නිවෙසකට පැමිණ ඇත. පුතුන් දෙදෙනා ප්‍රමාද වී කොබෙයිගනේ නිවෙසට ලෑන්ඩ්කෲසර් V8 වර්ගයේ වාහනයකින් යමින් සිටියදී කඹුරාපොළ බුත්ගමු ඔයේ පාලමේ වංගුවෙන් වේගය පාලනය කරගත නොහැකිව ඔයට ඇදවැටී මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

පොලීසිය එම ස්ථානයට යන විටත් ඔයට ඇදවැටී තිබූ සැප රිය එහි ගමන් ගත් දෙදෙනා ද සමඟින් ඔය මධ්‍යයේ ජලයේ ගිලී තිබී ඇති අතර මහත් පරිශ්‍රමයක් දරා උදෑසන 7ට පමණ ප්‍රදේශ්වාසීන්ගේ සහාය ද ඇතිව ගොඩට ගැනීමට හැකි වී තිබේ.

රාත්‍රියේ ඔයට වැටී ජලයේ ගිලී ගිය ජීප් රථයක් පිළිබඳ එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට ද සොයාගත නොහැකි වී ඇත්තේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඔයේ ජලය පිරී ඉතිරී ගොස් තිබූ බැවින්ය. ඒ තරමටම ඔයේ අඩි 15ක පමණ ගැඹුරක ජීප් රිය ජලයේ ගිලී ගොස් තිබී ඇත. ඒ අසල නිවෙසක සිටි කාන්තාවකට යමක් මහා ශබ්දයක් නඟමින් ඔයට වැටෙන ආකාරය ශ්‍රවණය වී ඇත. ඇගේ දැනුම්දීම මත මේ පොලීසිය ක්‍රියාත්මක වී තිබූ බව පැවසේ. එම කාන්තාව නොසිටියා නම් මේ අනතුර පිළිබඳ සොයා ගැනීමට ද අපහසු වීමට ඉඩ තිබිණි. අනතුර සිදුවූ ස්ථානයේ පාලම පිහිටා ඇත්තේ වංගුවක් ද සහිතවය.

ගොඩ ගන්නා විටත් එම රිය ඇතුළේ සිටි සහෝදරයන් දෙදෙනා ⁣⁣ ජීවිත බේරා ගැනීමට උත්සාහ දරා ජීවිතක්ෂයට පත්ව තිබූ ආකාරය ශෝචනීය දසුනක් වූ අතර ඔවුන් ඒ වන විට ද මරණයට පත්ව සිට ඇත. දේහ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට යොමු කර තිබූ අතර ජලයේ ගිලීමෙන් ඔවුන් මරණයට ගොදුරුව ඇති බව එහිදී නිගමනය කර තිබේ.

මෙම අනතුර දැක බලා ගැනීමට අධික ජනකායක් පැමිණ සිටීම හේතුවෙන් අලුයම සිට උදෑසන 7 පමණ වන තෙක්ම එම මාර්ගයේ ගමනා ගමනය ද මුළුමනින්ම අඩාළව පැවතිණි.

දෙසොහොයුරන්ගේ අවසාන කටයුතු අද (25) කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. මෘත දේහ අවසන් ගෞරවය සඳහා කුරුණෑගල නිවෙසේ තබා ඇත.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කුලියාපිටිය පොලිස් රථ වාහන අංශය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.

කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න,

කුලියාපිටිය – මෙවිරු ධනාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT