විශාල ගල්පර්වත පස්කඳු කඩාවැටීමෙන් දින 7ක් පුරා වසාදමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යළි ඊයේ (24) දහවල් විවෘත කළ බව මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි.
එසේ මාර්ගය දිවා කාලයේ රථ වාහන ධාවනය සඳහා විවෘත කළද තවමත් එම ස්ථානයේ ගල්පර්වත කඩා වැටීමේ අවදානම පවතින බැවින් පස්සර බිබිල මාර්ගය 13 කණුව ප්‍රදේශයේදී දිනපතාම මාර්ගය පස්වරු 6.00 සිට පසු දින උදේ 6.30 වන තෙක් වසා දමන බවද එම කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේය. බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ පස්සර බිබිල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ දී ඉකුත් 11වන දින අලුයම 3.30ට පමණ ඒ අසල ඉහළ කඳ මුදුනේ පිහිටි විශාල ගල්පර්වත පස්කදු ගස්කොළන් කඩාවැටී පස්සර බිබිල, මොනරාගල රථ වාහන ධාවනට බාධා සිදුව තිබිණි. මේ නිසා පස්සර මොනරාගල, බිබිල බස් රථ පස්සර 13 කණුව ප්‍රදේශය තෙක් ධාවනය වූ අතර, ගල්පර්වත කඩා වැටී තිබූ ස්ථානයේ ජනතාව පාගමනින් එතෙරට ගොස් පස්සර, බිබිල මොනරාගල බදුල්ල බස්රථවලට ගොඩ වූහ. මේ සඳහා විකල්ප මාර්ග ලෙස පස්සර හිඟුරුකඩුව බඩල්කුඹුර මාර්ගය පස්සර බදුල්ල හරහා මහියංගණ බිබිල මාර්ගය පොලීසිය රථ වාහන රියැදුරන් සඳහා හඳුන්වා දී තිබේ.
කෙසේ වෙතත් අද (25) ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන කරා යෑමට මෙසේ මාර්ගය විවෘත කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.
සොරණාතොට සමූහ – සී. ගමගේ
බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන