මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා සිදු වූ රුපියල් කෝටි 7 හමාරක මුදලක් කොල්ලකෑමේ මහමොළකරු හා තවත් සැකකරුවකු යාපනය හරහා ඉන්දියාවට පලා යෑමට උත්සාහ දරා ඇති බවට අනාවරණය වූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. මේ සැකකරුවන් නවාතැන් ගෙන සිටි යාපනය නගරයේ නවාතැන්පළකට පොලීසිය යන විට ඔවුන් ඉන් පලා ගොස් ඇති ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන්ට පලා යෑමට අනුබල දුන් ඔවුන් පැමිණි කුලී මෝටර් රථයේ රියැදුරු හා ඔහුගේ සහායකයා සහ මෝටර් රථය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මේ රියදුරු කුරුණෑගල වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයකු බවත්, අනෙක් පුද්ගලයා කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයකු බවත් පොලීසිය සඳහන් කරයි. පොලීසිය විසින් සිදු කරනු ලැබූ විමර්ශනවලදී හෙළිව ඇත්තේ කොල්ලකෑමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා කුලී පදනම මත ගත් මෝටර් රථයෙන් කුරුණෑගල සිට යාපනයට ගොස්, පසුව නාගදීප විහාරස්ථානයට පිරිකර පූජා කොට නැවත යාපනය නගරයේ නවාතැන් ගෙන සිටි ස්ථානයට වෙත පැමිණ ඇති බවයි. මේ කුලී මෝටර් රථය සඳහා රුපියල් එක් ලක්ෂ විසි දහසක මුදලක් සැකකරුවන් විසින් දී ඇති බවද පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.
පලා ගිය ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගම්පහ 1 නාලක සේනානායක යන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි, උප පොලිස් පරීක්ෂකවරුන් වන වික්‍රමසිංහ, උදයශාන්ත, පොලිස් සැරයන්වරුන් වන පුෂ්පානන්ද (2926), සෙනෙවිරත්න (55460), වීරසූරිය (61971), පොලිස් කොස්තාපල් ලක්ෂාන් (25075) ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කළහ.
ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර