Saturday, May 3, 2025
Home » යටි දේශපාලන අරමුණු නැති වෘත්තීය සමිතිවලට ආණ්ඩුව සමඟ වැඩ කළ හැකියි

යටි දේශපාලන අරමුණු නැති වෘත්තීය සමිතිවලට ආණ්ඩුව සමඟ වැඩ කළ හැකියි

කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

by thanushika
November 25, 2024 1:30 am 0 comment

සුභාෂිණී සේනානායක

පෞද්ගලික අංශයේ, අර්ධ රාජ්‍ය අංශයේ ලක්ෂ 65ක් වූ වැඩ කරන ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහෝදරයා සමඟ එක්ව ගත හැකි සියලු පියවර ගන්නා බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවැසීය.

යටි දේශපාලන අරමුණුවලින් තොරව කටයුතු කරන්නේ නම් වෘත්තීය සමිතිවලට අපේ ආණ්ඩුව සමඟ ඉතා සුමට ලෙස කටයුතු කළ හැකි යැයි ද හෙතෙම සඳහන් කළේය.

කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද ජයසිංහ මහතා පසුගියදා (22) එම අමාත්‍යාංශයේදී රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් මේ බව කියා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

මෙය තමයි මැතිවරණ ඉතිහාසයේ ශ්‍රී ලාංකීය ජාතිය ලෙස ලබපු මැතිවරණ ජයග්‍රහණය. පසුගියදා පැවැති මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගයට ඉතා විෂිශ්ට ජයග්‍රහණයක් මේ රටේ සියලු ජනතාව ලබා දුන්නා. ඒ ජයග්‍රහණය ප්‍රමාණාත්මකව ඉතා ඉහළ අගයක් වගේම ඒ මැතිවරණ ප්‍රතිඵලය තුළ තිබෙන විශේෂතාව සහ ගුණාත්මකභාවයත් අපි හොඳින් තේරුම් අරන් සිටිනවා. මේ රටේ සිංහල දමිළ මුස්ලිම් භේදයකින් තොරව උතුර ද දකුණ ද නැඟෙනහිර ද බටහිර ද භේදයකින් තොරව එකතු වී තමයි මේ ජයග්‍රහණය ලැබුවේ. මෙය තමයි මැතිවරණ ඉතිහාසයේ ශ්‍රී ලාංකීය ජාතිය ලෙස ලබපු මැතිවරණ ජයග්‍රහණය. අද කම්කරු ඇමැතිවරයා ලෙස වැඩ භාර ගැනීමට ලැබීමත් සතුටුදායක කාරණයක්. පෞද්ගලික අංශයේ අර්ධ රාජ්‍ය අංශයේ ලක්ෂ 65කට වැඩි පිරිසක් ඉන්නවා. ඒ අය අතරින් සියයට 15ක් පමණයි වෘත්තීය සමිති සාමාජිකත්වය ලබා සිටින්නේ. ඉතිරි අය සාමාජිකත්වයක්වත් නැතිව අසංවිධානාත්මකව වැඩ කරන ජනතාවක් මේ රාටේ ඉන්නේ. ඔවුන් මුහුණදෙන ගැටලු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා සම්බන්ධයෙන් අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. තවදුරටත් අවබෝධ කරගෙන විසඳුම් ප්‍රවේශ සොයන්න වැඩ කරන ජනතාව ඇතුළු පොදු මහජනතාව අපේක්ෂා කළ පොහොසත් රටක් ක්‍රියාවලියට අනුගත වෙමින් කම්කරු ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහෝදරයා සමඟ එක්ව කාර්ය මණ්ඩලය සමඟ අත්වැල බැඳගෙන වෘත්තීය සමිති ව්‍යාපාරය සමඟ ඉතාමත් සුහදව එකතු වෙමින් මේ රටේ වැඩ කරන ජනතාවට මෙන්ම පොදු ජනතාවට අවශ්‍ය කරන පියවර ගන්න සූදානම්.

සියලු ආයතනවල සියලු දෙනාගෙන් එක්ව වැඩ කරමු කියා ඉල්ලන අතර මේ සියලු දෙනාගේ සුබසිද්ධිය වෙනුවෙන් අපිට කළ හැකි මැදිහත්වීම කරමු කියා ඉල්ලනවා. සියලු ජනතාවට හොඳ හෙටක් ඇති කිරීම අපේ අරමුණයි. අධ්‍යාපනයට ඉතා හොඳ ඇමැතිවරියක් ලෙස හරිනි අගමැතිවරිය ඉන්නවා. වැටුප් විෂමතාව සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කර තිබෙනවා. අලුත් ව්‍යවස්ථාවක් ගුරු සභාවක් හදන බවටත් මූලික ප්‍රතිපත්ති රාමුව අපි හඳුන්වා දී තිබෙනවා. ඊට අවශ්‍ය කරන මැදිහත් වීම අපි සිදු කරනවා. ගුරු විදුහල්පති ඇතුළු සියලු දෙනා මම අධ්‍යාපන තනතුරක් නොදැරුවාට විස්සෝපයට කනස්සල්ලට පත් වෙන්න එපා. අවශ්‍ය කරන මැදිහත්වීම සිදු වෙනවා. වෘත්තීය සමිති සමඟ වඩා හොඳ ගනුදෙනුවක් කරනවා. මමත් වෘත්තිය සමිති නායකයෙක්. ඕනෑම ගැටලුවක් විසඳගන්න පුළුවන් කියා මා විශ්වාස කරනවා. වෘත්තීය සමිති නායකයන් මේ ආණ්ඩුව නියෝජනය කරනවා. වෘත්තීය සමිතිවලට අපේ ආණ්ඩුව සමඟ ඉතා සුමට ලෙස කටයුතු කරන්න පුළුවන් යටි දේශපාලන අරමුණුවලින් තොරව කටයුතු කරන්නේ නම්. අරමුණ තිබෙන්නේ වැඩ කරන ජනතාවගේ සේවක ගැටලු විසඳා ගැනීමට නම් එය කෙරේවි. එසේ නොවෙයි නම් තත්තවය අසීරුයි.

කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, අතිරේක ලේකම් ලාල් සමරකෝන් මහත්වරුන් ඇතුළු ලේකම්වරු සහ ආයතන ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය – හිරන්ත ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT