Home » රට ගොඩනඟන ගුණාත්මක වෙනසේ වැඩි කොටසක් අධ්‍යපනයට හිමි විය යුතුයි

රට ගොඩනඟන ගුණාත්මක වෙනසේ වැඩි කොටසක් අධ්‍යපනයට හිමි විය යුතුයි

by thanushika
November 25, 2024 1:30 am 0 comment

අග­මැ­තිනි හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය මාදෝ­විට වජි­ර­බුද්ධි නාහිමි­යන්ට විජි­නි­පත පිළි­ගැන්වූ අයුරු.

මාදෝවිට වජිරබුද්ධි නාහිමියන්ට ප්‍රධාන සංඝනායක ධුරයේ සන්නස් පත්‍රය පිරිනැමීමේ උත්සවයේදී අගමැතිනිය කියයි

අපට ලැබුණු කඩාවැටුණු රට ගොඩනැඟීමේදී ගුණාත්මක වෙනසක් අවශ්‍ය කරන බවත් ඒ ගුණාත්මක වෙනසේ විශාල පංගුවක් අධ්‍යාපනික වශයෙන් සිදු විය යුතු බවත් අගමැති, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. මේ සමාජය බලාපොරොත්තු වන පරිවර්තනය ඇති කිරීමට නම් ඒ අධ්‍යාපනික වෙනස අවශ්‍ය කරන බව ද ඇය කීවාය.

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය මෙසේ පැවසුවේ හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලද මාදෝවිට වජිරබුද්ධි නාහිමියන්ට සන්නස් පත්‍රය පිරිනැමීමේ උත්සවයට පෙරේදා (23) සහභාගි වෙමිනි.

හෝමාගම පුරාණ විහාරයේ විහාරාධිපති, හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උප සභාපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික හා විනිශ්චය කාරක සභික, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) මාදෝවිට වජිරබුද්ධි හිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උලෙළ ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරයේ ප්‍රධාන උපෝසථාගාරයේදී පැවැත්විණි.

ඉත්තෑ­පාන ධම්මා­ලං­කාර මහනාහිමි­යන් විසින් මාදෝ­විට වජි­ර­බුද්ධි නාහිමි­යන්ට සන්නස් පත්‍රය පිරි­නැමූ අයුරු.

එම අවස්ථාවේදී ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන් විසින් පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවීමෙන් අනතුරව උත්සවය ආරම්භ කළ අතර එහිදී ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ මාදෝවිට වජිරබුද්ධි හිමියන්ට සන්නස්පත්‍රය පිළිගැන්වීම ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියෝ සිදුකළහ. උන් වහන්සේට විජිනිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍යවරිය සිදු කළාය.

එහිදී අගමැතිනිය මෙසේ ද කීවාය.

“අද අපේ රටේ සමස්ත අධ්‍යාපනයම කඩා වැටිලා තිබෙනවා. අධ්‍යාපනය ගොඩනැඟීම අපේ රජයේ ප්‍රමුඛතම කාරණයක් වෙලා තිබෙනවා. ඒ අධ්‍යාපනික වෙනසටත් ගුණාත්මක වෙනසටත් ගරුතර සංඝරත්නය ඇතුළු සියලු ආගමික නායකයන්ගේ මඟපෙන්වීම විශේෂයෙන්ම අපේ සංඝයා වහන්සේගේ මැදිහත්වීම, නායකත්වය අපිට අතිශයින්ම තීරණාත්මක වෙනවා. ඒ මඟපෙන්වීමත් නායකත්වයත් අපිට අත්‍යවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය ඒ ගුණාත්මක වෙනස කරන්න නම් බෞද්ධ ආගම තුළ අපි සියලු දෙනාම ඉගෙන ගත්ත වටිනාකම් තිබෙනා. සමාජ සාධාරණත්වය, සමාජ සමානාත්මතාව, සාමූහිකත්වය සහ ඒ තුළින් දියුණු මානව සම්බන්ධතා තියන සමාජයක් ගොඩනඟන්න අපිට අවශ්‍ය වෙලා තිබෙනවා.

විශේෂයෙන්ම පරිපාලනය තුළ අර්බුද රාශියක් තියනවා කියල මේ ටික කාලයේදී මට අවබෝධය ලැබුණා. පිරිවෙන් අධ්‍යාපනය පමණක් නොව අපේ සමස්ත අධ්‍යාපන ක්‍රමයම කඩා වැටිලා තියන මොහොතක අධ්‍යාපනය ගොඩනැඟීම අපේ රජයේ ප්‍රමුඛතම කාරණයක් වෙලා තියනවා. මේ කඩාවැටිලා තියන රට සහ කඩාවැටිලා තියන අධ්‍යාපනය ගොඩනැඟීමට අපේ ගරුතර මහා සංඝරත්නයේ නායකත්වය සහ මඟපෙන්වීම අපිට ලැබේවි කියල අපි බලාපොරොත්තු වෙනවා.” යැයි කීවාය.

එම අවස්ථාවේදී ප්‍රධාන අනුශාසනාව කළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභවේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, දර්ශනසූරී, අග්ග මහා පණ්ඩිත, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක කොටපිටියේ රාහුල හිමි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංස නාහිමියෝ ද අනුශාසනා සිදු කළහ.

ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක මල්වානේ පඤ්ඤාසාර හිමි, අග්ග මහා පණ්ඩිත විනය විශාරද රාමඤ්ඤ මහ නිකායේ මහනායක මකුලෑවේ විමල හිමි, මකුරුප්පේ සෝමාලංකාර අනුනාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සමඟ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ, හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන, හිටපු ඇමැති ගාමිණී තිලකසිරි යන මහත්වරු සහ මාදෝවිට වජිරබුද්ධි හිමියගේ මෑණියන් වන ටී.ඇම්. ලීලාවතී මහත්මිය ඇතුළු පවුලේ ඥාතීහු සමඟ විශාල පිරිසක් සහභාගි වූහ.

හබරකඩ සමූහ – ඩී.එම්.එස් ප්‍රියලාල්,

නුගේගොඩ සමූහ – සමීර අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT