Home » වෛද්‍ය වාර්තාවක් ඉල්ලුවාට බෙහෙත් දෙන්න බෑ කියූ දොස්තර රෝගියාව එළවලා

වෛද්‍ය වාර්තාවක් ඉල්ලුවාට බෙහෙත් දෙන්න බෑ කියූ දොස්තර රෝගියාව එළවලා

සොයා බලා පියවර ගන්නවා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි

by thanushika
November 25, 2024 12:30 am 0 comment

බණ්ඩාරගම කොට්ටාව - ප්‍රදීප් කුමාර
වෛද්‍ය­ව­රයා විසින් කුරුටු ගාන ලද බෙහෙත් තුණ්ඩුව

බණ්ඩාරගම රජයේ රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගිය රජයේ සේවකයකු වෛද්‍යවරයාගෙන් වෛද්‍ය වාර්තාවක් ඉල්ලා සිටි අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කොට ලියන ලද තුණ්ඩුව ද පෑන් ඉරිවලින් කපා ප්‍රතිකාර ලබා නොදීමේ පුවතක් එම රෝහලෙන් වාර්තා වේ.

අධික සෙම රෝගය හේතුවෙන් ප්‍ර‍තිකාර ලබා ගැනීම සඳහා බණ්ඩාරගම රජයේ රෝහලට ගිය නුගේගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවකයකු මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

මෙම රෝගියා ඉකුත් 18 දා සෙම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම රෝහලට ගොස් ඇති අතර පැයක පමණ කාලයක් පෝලිමේ රැඳී සිට වෛද්‍යවරයා හමුවට ගොස් තිබේ.

එහිදී වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කරන අවස්ථාවේදී රෝගියා විසින් තම සේවා ස්ථානයට ලබාදීම සඳහා වෛද්‍ය වාර්තාවක් ඔහුගෙන් ඉල්ලා තිබේ. එහිදී කෝපාවිෂ්ට වූ වෛද්‍යවරයා “මෙහේ වෛද්‍ය වාර්තා දෙන්නේ නෑ. වෛද්‍ය වාර්තා ඕ‍ෙන්නම් පෞද්ගලික ස්ථානයකින් සල්ලි දීලා ගන්න” යනුවෙන් පවසා ලියන ලද තුණ්ඩුව පෑන් ඉරිවලින් කපා ප්‍රතිකාර ලබා නොදී රෝගියාව එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

වෛද්‍ය වාර්තා අවශ්‍ය නම් තමන් පරීක්ෂා කරන වෛද්‍යවරයාට එම අවස්ථාවේදීම දැනුම් දෙන ලෙසට සඳහන් කරන ලද දැන්වීමක්ද එම රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රදර්ශනය කර තිබෙන පසුබිමක මෙවන් සිදුවීමක් සිදුවීම පුදුමසහගතය.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම රජයේ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ජේ.පී. සුබසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, ‘රෝහලට එන කිසිම රෝගියෙකුට වෛද්‍ය වාර්තා පිටින් ගන්න කියලා රෝහලේ වැඩ කරන වෛද්‍යවරුන්ට කියන්න බෑ. එහෙම සිදුවීමක් වෙලා තිබෙනවා නම් සම්පූර්ණ වැරදියි. හැබැයි රෝගීන් වැඩි අවස්ථාවලදී නම් වෙනත් කවුළුවකින් ප්‍රතිකාර ගන්න කියලා කියන්න පුළුවන්. නමුත් පිටින් වෛද්‍ය වාර්තා ගන්න කියල බලපෑම් කරන්න බෑ. ඇතැම් අය බොරුවටත් වෛද්‍ය වාර්තා ඉල්ලනවා. ඒ කොහොම වුණත් මේ සම්බන්ධයෙන් මම සොයා බලා අවශ්‍ය පියවර ගන්නම්” යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT