Home » අයිස්වලට ඇබ්බැහි වූ යුවළක් පන්සල් බිඳ ඉස්සූ බඩුවලින් සීට්ටු දාලා

අයිස්වලට ඇබ්බැහි වූ යුවළක් පන්සල් බිඳ ඉස්සූ බඩුවලින් සීට්ටු දාලා

මාසයකදී පන්සල් 10ක් බිඳලා

by thanushika
November 25, 2024 1:00 am 0 comment

කහවත්ත - ලසන්ත නිරෝෂණ පෙරේරා

අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ යුවළක් මාසයක් ඇතුළත විහාරස්ථාන දහයක ධර්ම ශාලා බිඳ විදත් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කිරීමේ ජාවාරමක් පැල්මඩුල්ල පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර, එම සොරකම්වලට අනුබල දුන් පෞද්ගලික බස් රථ රියැදුරකු ද පොලීසිය විසින් පසුගියදා (22) අත්අඩංගුවට ගනු ලැබිණ.

විහාරස්ථානවල ධර්ම ශාලා බිඳ ශබ්ද විකාශන යන්ත්‍ර, විදුලි පංකා, බෆල්, රූපවාහිනී යන්ත්‍ර ඇතුළු වටිනා උපකරණ රැසක් මෙම කණ්ඩායම විසින් සොරාගනු ලැබ තිබූ අතර, ඉන් කොටසක් මොනරාගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට විකුණා තිබියදී සොයාගෙන තිබේ. මෙම සංවිධානාත්මක සොරකම් සඳහා දුර ගමන් සේවා පෞද්ගලික බස් රථවල රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ සහාය ද ප්‍රධාන සැකකරු විසින් ලබාගනු ලැබ තිබූ බව පොලීසිය පවසයි. ප්‍රධාන සැකකරු කලක් මොනරාගල – කොළඹ පෞද්ගලික බස්වල සහායකයකු ලෙසද කටයුතු කරද්දී බස් සේවකයන් හඳුනාගෙන මෙම සොරකම සඳහා ඔවුන්ගේ උදවු ලබාගෙන තිබුණි. එලෙස සහාය දැක්වූ කොළඹ – මොනරාගල පෞද්ගලික බසයක රියැදුරකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් බස් සේවකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේ.

කහවත්ත, පැල්මඩුල්ල, රත්නපුර ප්‍රදේශවල ප්‍රධාන මාර්ගය අයිනේ විහාරස්ථානවලට ප්‍රධාන සැකකරු සහ කාන්තාව ඇතුළු වී සොරකම් සිදු කර ඇති අතර, ඔවුන් කහවත්ත පුරාණ විහාරස්ථානයේ පින්කැට දෙකක් ද කඩා ඇතැයි ද පොලීසිය පැවසීය.

ඒ අනුව පසුගියදා (22) අලුයම පැල්මඩුල්ල, රිල්හේන විහාරස්ථානයේ ධර්ම ශාලවට අලුයම දෙකට පමණ ඇතුළු වී එහි විදුලි උපකරණ සොරගෙන යද්දී විහාරාධිපති හිමියන් දායකයන්ට සහ පොලීසියට කළ දැනුම් දීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු සහ සැකකාරිය ඇහැළියගොඩදී සූක්ෂ්ම ලෙස අත්අඩංගුවට ගනු ලැබිණ. පිරිමි පුද්ගලයකු සමඟ කාන්තාවක් කිසියම් භාණ්ඩ කිහිපයක් රැගෙන අලුයම 2.30ට පමණ කොළඹ දෙසට ගිය දුර ගමන් සේවා බසයක නැඟී ඇතැයි පොලීසියට ලද තොරතුරු අනුව පැල්මඩුල්ල පොලිසියේ සැරයන් (35303) රත්නායක මහතා අදාළ බස් රථයේ සේවකයෙකුගේ දුරකතන අංකයක් සොයාගෙන ඇහැළියගොඩ ප්‍රදේශයේදී ඇහැළියගොඩ පොලීසිය විසින් පුද්ගලික බස් රථය නවත්වන ලදුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු සහ සැකකාරිය අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය බවත්, සැකකරු කඩුවෙල පදිංචි අයකු වන අතර, ඔවුන් දෙදෙනා විවාහ වී නොසිටියත් කොටිකාවත්ත ප්‍රදේශයේ එකම නවාතැන්පොළක ජීවත්ව සිටිමින් මෙම සොරකම් සිදු කර ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඔවුන් මෙසේ විහාරස්ථාන බිඳ සොරා ගන්නා භාණ්ඩ පෞද්ගලික බස්වලින් මොනරාගලට රැගෙන ගොස් සීට්ටු භාණ්ඩ යැයි පවසා විකුණා ඇතැයි ද පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT