වාර්තාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,300ක් තරග වදින 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට පෙර නොවූ විරූ අයුරින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය ඉහළ ගොස් තිබේ. මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ කනිෂ්ඨ තරග අංශය සඳහා බාලක බාලිකාවෝ 850කට අධික සංඛ්‍යාවක් එක්වී සිටින බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපලේකම් සහ තරගාවලි කමිටුවේ ලේකම් ජාලිය ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කලාපීය සංවර්ධන කමිටුව විසින් මීට වසර දෙකකට පමණ පෙර ආරම්භ කරනු ලැබූ මෙරට සියලු දිස්ත්‍රික්කවල අවුරුදු 13න් පහළ සංචිත ගොඩනැඟීමේ දීපව්‍යාප්ත මෙහෙයුම ජාතික තරගාවලියට කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි ප්‍රමාණයක් සහභාගිවීමට හේතු වී ඇතැයි ද තරගාවලි කමිටු ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය පිළිබඳ පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජාලිය ජයසේකර මහතා කියා සිටියේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නව පිබිදීම මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතයට කදිම ආයෝජනයක් වනු ඇති බවය. එමෙන්ම වාර්තාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගිවීම හේතුවෙන් තරගාවලියේ මෙහෙයුම් කටයුතු සඳහා නිලධාරීන් 60කට අධික පිරිසක් යෙදවීමට ද සිදුවී තිබේ.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිත අතර, වෙළෙඳසේවා ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ මෙන්ම ඔටර්ස් ක්‍රීඩා සමාජයේ සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්රීඩාගාරයේදී තරග පැවැත්වීමට නියමිතය.
ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් තෑගි බෙදා දෙමින් ලබන මස 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ කේන්ද්‍ර කරමින් පැවැත්වීමට නියමිතව ඇති මේ තරගාවලියට අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ දක්වා කනිෂ්ඨ තරග අංශය ද, අවුරුදු 30න් ඉහළ සිට අවුරුදු 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ තරග අංශය ද, අවුරුදු 100, 110 සහ අවුරුදු 120 යටතේ ඒකාබද්ධ වයස් කාණ්ඩ තරග අංශය ද සමඟ විවෘත අංශයේ තරග ඇතුළත් ය. මෙවර තරගාවලියේ කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට මුදල් තෑගි වෙනුවට වෙනත් වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. මීට අමතරව සියලු ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට පදක්කම් සහ සහතික පත්‍ර පිරිනැමේ.
ශ්‍රී ලංකාවේ සුපිරි යොවුන් ක්‍රීඩිකා රනිත්මා ලියනගේ පසුගිය වසරේ ජාතික බැඩ්මින්ටන් ශූරිය වූ අතර, බුවනෙක ගුණතිලක ජාතික බැඩ්මින්ටන් ශූරයා බවට පත් විය.
ෆවුස් මොහොමඩ්