Home » ජාතික වොලිබෝල් ශූරතාවලිය සුපර් ලීග් පිරිමි අවසන් තරගයට විදුලිබලය සමඟ වරාය අධිකාරිය

ජාතික වොලිබෝල් ශූරතාවලිය සුපර් ලීග් පිරිමි අවසන් තරගයට විදුලිබලය සමඟ වරාය අධිකාරිය

by manjula
November 25, 2024 12:40 am 0 comment

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන සිලෝන් බිස්කට් සමාගමේ මන්චි සමඟ එක්ව සංවිධාන කරන ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර්ලීග් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය/ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.

ඊයේ වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී විදුලිබල ක්‍රීඩකයන් විසින් ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය වට 3-2ක් ලෙස පරාජය කළ අතර, දෙවැනි තරගයේදී වරාය අධිකාරිය හමුවේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම වට 3-2ක් ලෙස පරාජය විය.

උණුසුම් මුහුණු වරක් ගත් පළමු තරගයේ පළමු වටය ලකුණු 25-23ක් ලෙස විදුලිබල පිල ජයගත් අතර දෙවැනි සහ තෙවැනි වටයන් පිළිවෙළින් ලකුණු 25-21ක් සහ 25-18ක් ලෙස ජය ගත්තේ ඕෂන් ලංකා කණ්ඩායමයි. කෙසේ වෙතත් සිව්වැනි වටය 25-10ක් ලෙස ජය ගනිමින් තරගය 2-2ක් ලෙස සම කර ගත් විදුලිබල ක්‍රීඩකයෝ අවසන් වටයේදි 15-7ක් ලෙස තරගයේ ජය තහවුරු කර ගත්හ.

දෙවැනි තරගය ආරම්භ කරමින් පළමු වටය පහසුවෙන් ජය ගැනීමට යුද හමුදාව සමත් වූයේ ලකුණු 25-18ක් ලෙසිනි. කෙසේ වෙතත් තියුණු සටනක් බවට පත්වූ දෙවැනි වටය 29-27ක් ලෙස වරාය අධිකාරිය ජයගත් අතර, තෙවැනි වටය යළිත් 15-18ක් ලෙස ජය ගත්තේ යුද හමුදාවයි. සිව්වැනි වරට 25-22ක් ලෙස ජය ගෙන මේ තරගයත් 5 වැනි වටය දක්වා ගෙන යෑමට සමත් වූ වරාය ක්‍රීඩකයෝ සමත් වූ අතර, කරට කර පැවති අවසන් වටය ලකුණු 18-16ක් ලෙස ජය ගනිමින් අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට වරාය ක්‍රීඩකයෝ සමත් වූහ. මේ තරගවලින් පරාජය වූ ඕෂන් ලංකා පිල සහ යුද හමුදා පිල අද (25) තෙවැනි ස්ථානය සඳහා තරගයට එක් වීමට නියමිතය.

මේ අතර කාන්තා සුපර්ලීග් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයේදී කැෂුවලයින් පිල වට 3-1ක් ලෙස පරාජය කිරීමට ඕමෙගා ලයින් ක්‍රීඩා සමාජය සමත් විය. එහි ලකුණු තත්ත්වය 25-21, 25-17, 18-25ක් සහ 25-19ක් ලෙස සටහන් විය. කාන්තා තරගාවලියේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල හමුවේ වට 3-1කින් (20-25, 26-24, 25-16, 25-17) ශ්‍රී ලංකා නාවික හමුදා පිල පරාජය විය.

අද (25) නාවික හමුදාව – වරාය අධිකාරිය, යුද හමුදාව – ඕමෙගා, ගුවන් හමුදාව – වරාය අධිකාරිය තරග වැදීමට නියමිතය.

මේ තරගාවලි ද්විත්වයේ අවසන් මහ තරග ලබන මස මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT