Home » ව්‍යාජ වීසා මඟින් රට පනින්න ගිය දෙදෙනෙකු කොටුවෙයි

ව්‍යාජ වීසා මඟින් රට පනින්න ගිය දෙදෙනෙකු කොටුවෙයි

by yasara
November 26, 2024 11:53 am 0 comment

කූඨ ලෙස සකස් කළ , ව්‍යාජ ජර්මානු වීසා බලපත්‍ර උපයෝගී කර ගෙන යුරෝපය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද (26)  උදෑසන කටුනායක ගුවන් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් දෙදෙනා වව්නියාව නගරය ආසන්නයෙහි පදිංචිකරුවන් වන අතර තරුණයා 26 හැවිරිදිය . තරුණිය 24 හැවිරිදිය .

ඔවුන් දෙදෙනා අද උදෑසන 07.10 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර ඔස්සේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර  බලා පිටත්ව යාම සදහා  ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් දෙදෙනා ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර , විගමන කටයුතු සදහා අවශ්‍ය ලියකියවිලි ද රැගෙන යමින් සිටියදී , ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් , මොවුන් දෙදෙනාගේ ලියකියවිලි තාක්ෂණික  පරීක්ෂා කිරීම් සිදු කිරීමට යොමු කර තිබේ .

එහිදී ඔවුන් සන්තකයෙහි පැවති ජර්මානු වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කර ඇති බවත් , ඊට අමතරව මොවුන්ගේ ගමන් බලපත්‍රය තුළ ඇති ශ්‍රී ලංකා සහ ජර්මානු මුද්‍රා සියල්ල , ව්‍යාජ ඒවා බවත් අනාවරණය වී තිබේ .

පසුව මොවුන්ගෙගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තරුණයාගේ වීසා බලපත්‍රය නෝර්වේ ජාතිකයෙකු  විසින් ද තරුණියගේ වීසා බලපත්‍රය ඇයගේ මව විසින් ද සකස් කර දී ඇති බව , ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබුණි .

ඒ අනුව අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT