Home » මිනිස් වෙළෙඳාමට හසුවී මුදල් ගෙවා ඇතිනම් දැනුම් දෙන්න

මිනිස් වෙළෙඳාමට හසුවී මුදල් ගෙවා ඇතිනම් දැනුම් දෙන්න

by chanaka
November 27, 2024 2:50 pm 0 comment

E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම සම්බන්ධයෙන් ඊයේ දින (26) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

දකුණු කොරියාවේ සෘතුමය රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 10 ක් හා ලක්ෂ දෙක හමාර බැගින් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලි දෙකක් අනුව, මෙම විමර්ශනය ක්‍රියාත්මක කළේය.

ඒ අනුව මෙම ජාවාරමට සම්බන්ධ වූ කඩවත හා ගලගෙදර ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ දින බත්තරමුල්ල නගරයේදී අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව ඊට සහාය වුණු කාන්තාවක්ද ඊයේ දින පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබී, විදේශ ගමන් බලපත්‍රයක්, ව්‍යාජ රැකියා ගිවිසුම්, පොරොන්දු පත්‍ර ඇතුළු ලේඛන රැසක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ තලංගම පොලිස් ස්ථානයේ රඳවා සිටි අතර, අද (27) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් සිටීද යන්න පිළිබඳව විමර්ශන නිළධාරීන් විසින් ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබයි.

මේ අතර E-8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කල පුද්ගලයන් කිහිප දෙනකු පිළිබදව සභාපතිට කියන්න වැඩසටහනට පැමිණිලි ලැබී තිබුන අතර ඒ පිළිබදවද විමර්ශන කරගෙන යමින් සිටින බවත්, E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබාදීමට නීත්‍යානුකූල ගිවිසුමක් නොමැති බැවින් එම රැකියා නීත්‍යානුකූල රැකියා නොවන අතර, එම රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාදෙන මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තමන් කිසිවිටෙකත් නොපැකිලෙන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT