Home » දින වෙනස් කර උත්සව සමයේදී විකුණන්න හැදූ හාල් කිලෝ 18,000ක් අල්ලයි

දින වෙනස් කර උත්සව සමයේදී විකුණන්න හැදූ හාල් කිලෝ 18,000ක් අල්ලයි

by sachintha
November 27, 2024 12:17 am 0 comment

නිෂ්පාදිත දිනය හා ඊට අදාළ තොරතුරු වෙනස් කර ආනයනික සහල් තොගයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. ඉන්දියාවේ නිෂ්පාදිත කිලෝ 25 ඇසුරුම්වල අසුරා ඒවායේ නිෂ්පාදිත දිනය වසර එකහමාරකින් පමණ ඉදිරියට දමා මෙලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබුණු සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 17,925කි. එම සහල් ඇසුරුම්වල නිෂ්පාදකයා විසින් දක්වා ඇත්තේ නිෂ්පාදිත දිනය 2022 ජනවාරි

ලෙසය. එය නිෂ්පාදිත දිනයේ සිට වසරක් තුළ භාවිත කිරීම කළ යුතු බව ඉන්දීය නිෂ්පාදකයා සඳහන් කර තිබියදී ලංකාවේ සහල් ආනයනය කර තිබූ ව්‍යාපාරිකයා විසින් එම අසුරනවල නිෂ්පාදිත දිනය වෙනස් කරමින් 2024 ජූනි ලෙස ඉදිරි දිනයක් යොදා වෙනත් ලේබලයක් සහිතව එම සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර තිබිණි. මෙම වැටලීම පෙරේදා (25) සිදු කර තිබූ අතර උත්සව සමය වෙනුවෙන් ඉදිරියේදී ද මෙම වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම එම සහල් අසුරනවල මුද්‍රිතව තිබූ මිල ගණන් සහ බර ප්‍රමාණයන් ද ලේබල මඟින් වෙනස් කර කොළඔ 14 ප්‍රදේශයේ ගබඩාවක් තුළ රහසිගතව තබා ගනිමින් මෙම සහල් ඉදිරි උත්සව සමය තුළදී වෙළෙඳපොළට බෙදා හැරීමට සැලසුම් කොට ඇති බව අනාවරණය වී ඇත.

මෙම වැටලීමේදී නිෂ්පාදිත දිනය වෙනස් කළ සහල් සහිත 25kg ඇසුරුම් 717ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගනු ලැබ ඇති අතර චුදිතයන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම උත්සව සමය තුළ, දිවයින පුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති අතර එහිදී වෙළෙඳුන් විසින් සිදු කරන මෙවැනි වංචනික ක්‍රියා සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරනු ඇත.

උත්සව සමය තුළදී ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් විසින් තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් තොග ගබඩා පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කරනු ලබන අතර භාණ්ඩ මිල දී ගැනීමේදී ඇසුරුමෙහි සඳහන් තොරතුරු පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ඇසුරුමෙහි පවතින තොරතුරු කිසියම් වෙනසකට ලක්කොට ඇතිදැයි විමසිලිමත් වන ලෙසත් එවැනි භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළෙඳුන් සම්බන්ධව තොරතුරු 1977 කෙටි දුරකතන අංකයට දන්වන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT