Tuesday, May 13, 2025
Home » ජල කඳට හසුව ට්‍රැක්ටරය පෙරළෙයි නින්දවුර් සිසුහු 6ක් අතුරුදන්

ජල කඳට හසුව ට්‍රැක්ටරය පෙරළෙයි නින්දවුර් සිසුහු 6ක් අතුරුදන්

by sachintha
November 27, 2024 12:19 am 0 comment

නින්දවුර් අරාබි පාසලක ඉගෙනුම ලබන දරුවන් පිරිසක් ට්‍රැක්ටරයක නැඟී නිවෙස් බලා යමින් සිටියදී කාර්තිව් මාවඩි පල්ලි ප්‍රදේශයේදී එම ට්‍රැක්ටරය පෙරළීමෙන් සිසුන් 6 දෙනකු අතුරුදන්ව ඇතැයි නින්දවුර් පොලිසිය පවසයි.

මෙම ට්‍රැක්ටරය පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි සිසුන් එකළොස්දෙනකුගෙන් පස් දෙනකු බේරාගැනීමට හැකිවූ බවත්, බේරා ගත් සිසුන්ගෙන් දෙදෙනකු දැනට සමන්තුරේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිංචි සිසුන්ට පවතින අධික වර්ෂාව නිසා නිවාඩු ලබාදී ඇති අතර, මෙම සිසුන් තම නිවෙස්වලට යාම සඳහා සුදානම්වී ඇති බවත් කාර්තිව් හංදියේ සිට සමන්තුරේ දක්වා වූ මාර්ගය ජලයෙන් යටවීම නිසා ට්‍රැක්ටරයක නැඟී ගමන් කර තිබූ බවත් වාර්තා වෙයි.

එසේ යමින් සිටියදී මෙම ට්‍රැක්ටරය පෙරළී ඇති අතර ඉන් සිසුන් පස් දෙනකු බේරා ගෙන තිබේ.

මේ වන විට අතුරුදන් සිසුන් සොයා නාවික හමුදාව විශේෂ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.

මේ අතර, දින දෙකක් තිස්සේ බදුල්ලට පවතින අධික වර්ෂාවත් සමඟ බදුල්ල නෙළුම්වැව ප්‍රදේශයේ නිවසකට නිවස පිටුපස තිබු කඳු ප්‍රදේශය නාය යෑමෙන් ඊට යටවී නිවසේ නිදා සිටි මව පියා සහ දරුවන් දෙදෙනා තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙසේ අනතුරට පත්ව රෝහල් ගත කර ඇත්තේ, පෙදරේරුවකු වන කේ.ඒම් ඉෂාන් චානක(33) චාන්දනී සාමා(31) පියා මව සමඟ කේ.ඒම් නෙපුණි සිතුමිණි අවුරුදු තුන හමාර සහ කේ.ඒම් දෙව්මිණි තාරුකා(11) යන තිදෙනාය.

දිගාමඬුල්ල විශේෂ – වසන්ත චන්ද්‍රපාල, ඌව පළාත් සමූහ – ප්‍රසන්න පත්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT