පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශවල විනාශ වී ගිය එළවළු වගාව වෙනුවෙන් එම ගොවීන්ට සහන සැලසිය හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ අවධානය යොමු කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
උඩරට එළවළු ගොවියා පමණක් නොව පහතරට එළවළු සහ පලතුරු ගොවීන්ගේ ද මේ වර්ෂා තත්ත්වය නිසා වගා හානි සිදු වී ඇති අතර ඒ පිළිබඳවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සැලකිලිමත් වන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා,
“මේ වෙනකොට ආපදාවට ලක් වෙලා සහ ලක් වෙමින් තිබෙන මේ රටේ වගා බිම් වගේම ජනතාව අතරින් බරපතළවම හානියට ලක් වෙන කණ්ඩායමක් තමයි එළවළු ගොවියා කියල කියන්නේ. එළවළු වගාව සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයත් සමඟ පැළවල මූල පද්ධතිය කුණු වෙනවා. කුණු වුණාට පසුව පසත් සමඟ තිබෙන සම්බන්ධය කැඩෙනවා. එහෙම වුණාම ඒ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. විශේෂයෙන්ම උඩරට වගේම පහතරට එළවළු ගොවියටත් ඒ දේ බලපානවා. බීට්, නෝකොල්, රාබු වගේ එළවළු බරපතළ විදියට හානියට පත් වෙනවා. ඒ වගේම තමයි අනෙකුත් ගොවීන් ගත්තම සහ පලතුරු, කෙසෙල් ගොවි ජනතාවටත් මේකෙන් ලොකු බලපෑමක් තිබෙනවා. ඒ නිසා ඒ ගොවීන් පිළිබඳවත් අපි අවධානය අනිවාර්යයෙන්ම යොමු කරනවා. එතැනදී ඒ සියලු ගොවීන් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා.
වර්ෂාවත් සමඟ එළවළු සහ පලතුරුවලට යම් හානියක් සිදු වෙනවා. ඒ වගේම ඒ දේවල්වල ගුණාත්මකභාවය සහ පෙනුම නැති වෙනවා. ලස්සන නැති වෙනවා. පුල්ලි හැදෙනවා. සමහර දේවල් කෑමට ගන්න සුදුසු වුවත් පෙනුම විසින් ඒක තවදුරටත් වටිනාකම අඩු වෙනවා. මේ තත්ත්වයන් සමඟ අනිවාර්යයෙන්ම එළවළු සම්බන්ධව වෙළෙඳපොළේ යම් ප්‍රශ්නයක් උද්ගත වීමට ද නියමිතයි. ඒ සියලු ගොවීන් සම්බන්ධයෙන් කුමක් ද කළ හැක්කේ කියන කාරණය පිළිබඳව ද අවධානය යොමු කරනවා.” යැයි පැවසීය.
මේ අවස්ථාව සඳහා ගොවිජන සම්මේලනයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න, ගොවිජන සම්මේලනයේ ජාතික විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල යන මහත්වරු ද එක්ව සිටියහ.