අහස් ගඟ එකවර බිමට පාත් වූවා වැනි හැඟීමක් රටේ දිස්ත්‍රික්ක ගණනාවක් දැන් අත්විඳින්නේය. කුඩලිගම කවියා සේ මෙම වැස්ස බලා මොනරෙකුට වඩා ආඩම්බරයක් අපට ළඟා කර ගත නොහැක. එවන් ආස්ථානයක මේ ජන ජීවිතය නැත. වැස්ස ආර්ථික අතින් ලාභදායී පරිසරයක් ඇති කරන ස්ථාන තිබේ. ජල විදුලිය සඳහා ජලාශ පිටාර ගලා යෑම අවශ්‍යය. වසරේ මුල් මාස කිහිපය සැරටම පායන්නේ බැවින්, මේ කාලයේ ජලාශ පිරී ඉතිරී යෑම අවශ්‍යය ය. පෑවිල්ල වගා පාළුවේ සාධකයක් හෙයින් ඒ සඳහා ද පිළියමක් කල් ඇතිවම වැස්ස ලබා දෙන්නේය. වැව් පිරී ඉතිරී ගිය කල රජරට ගොවියා වෙත, අතිරේක ජල කඳ, වැව් දිය ලෙස ගබඩා වී ඇත්තේ හෙයින්, ඒ මත්තේ ඊළඟ කන්නය සඳහා වූ බලාපොරොත්තුව තැබිය හැකිය.
එහෙව් වැසි දිය කඳ, අප වෙත ළඟා වෙන ආකාරය අනුව එයින් සැලෙසෙන වාසි අවාසි ශේෂ පත්‍ර ගත වන්නේය. මේ දින කිහිපයේ අප අත්දකින ලද්දේ, එපා වෙන්නම වැසි දිය රට ඇතුළට පහත් වෙන අන්දමය. ජන ජීවිතය එහෙම් පිටින්ම වැස්ස නිසා අඩාළ වී ගොසිනි. මහ වැව් පිටාර ගලන්නේ, ගම් නියම් ගම් සපුරාම තෙත බරිත කරවමිනි. ගෙයක් ගානේ ද මෙහි ප්‍රතිඵල විඳීමට සිදුව ඇත්තේය. උසස් පෙළ විභාගය දින තුනකට කල් දමන ලද්දේ ළමෝ විභාගය සඳහා සේන්දු වූයේ බෝට්ටු සේවා ආදියේ උදව් පදව් ආදිය ලබාගෙන බැවිණි.
රටේ සකල විධ ක්‍රියා පිළිවෙතටම වැස්ස සමඟ අනුගත වීමට සිදුව ඇත්තේය. අනෝරා වැස්ස මැද්දේ, වටරැක, හල්බරාව පැත්තේ කුඩු ගබඩාවක් වටලෑමට විශේෂ කාර්ය බළකාය කටයුතු කළේය. තොගයේ අයිතිකරු, වැඩේ මහා පරිමාණයෙන්මැ සිදු කරගෙන යන, උනාකූරුවේ ශාන්තය. නම හුරු නැති වුවද මේ ආදී ලෙස රට පුරා සිටින සැඟවුණු අමුත්තන් බොහෝ ගණනාවක් වෙත්. දැන් කාලයේ වැඩේ සිද්ධ වන්නේ ඩුබායි හෝ යුරෝපයේ සිට දුරස්ථ පාලකයෙන් බැවින්, අලෙවි නියෝජිතයෝ මිස, ප්‍රධාන සමාගම පිළිබඳව හාංකවිසියක් හෝ විස්තර දත නොහේය. ශාන්ත නම් වූ හෙතෙම රටේ පැත්තක් ක්ලාන්ත කරවන තරමට විෂ බෙදා හරින්නෙකි. මිරිස් කුඩු පැකට් කර විකිණීම සඳහා ගිය ද මේ රටේ හැම තැනම බාධක වුවද උඩ අතු සඳහා යහමින් සංග්‍රහ කරන බැවින් ශාන්තලා සඳහා බාධක ඇත්තේම නැත.
මේ වෙළඳාම අදියර කිහිපයකින් යුක්තය. සම්බන්ධකම් ජාලය ගොඩනඟා ගෙන, පළමුව ඇණවුම භාර දෙන්නේය. පොදු සමුද්‍ර කලාපයට නැවෙන් ද ගොඩබිමට කිට්ටු වෙත්ම බෝට්ටුවෙන් ද බඩු බෙදා හැරීම සිද්ධ වන්නේය. වෙරළ තීරයේදී බඩු භාර ගැනීම සඳහා වෙනම නඩයක් ඇත. එතැන් සිට ස්ථාන ගණනාවක් සඳහා අවශ්‍ය කිලෝ ග්‍රෑම් ප්‍රමාණය බෙදා දෙන්නේය. අවසාන පාරිභෝගිකයා සඳහා බඩු ලබාදීම, පළාත් අලෙවි නියෝජිතයා සතු ජාලය මඟින් සිදු කරනු ලබයි. මහ තොගයේ සිට කුඩා පැකට්ටුව දක්වාම අදාළ ස්ථාන සඳහා බලය ඇති පිරිසගේ රැකවරණය ලැබෙන අතර, ඒ සඳහා වන සේවා ගාස්තුව බැංකු ගිණුම් වෙත ලබාදෙන ආකාරයක් ඇත.
මේ ආකාරයට වසර ගණනාවක් සිදු කළ වෙළඳාම සඳහා මාසයක පමණ සිට බාල්දි පෙරළී ඇති බව පෙනේ. පෙරේදා ශාන්තගෙන් අල්ලා ගත් තොගයේ වටිනාකම, රුපියල් කෝටි 150කට අධිකය. අයිස් සහ හෙරොයින් කිලෝ 72ක්, ඒ බල්ක් එකේ විය.
රුපියල් කෝටි පන්සියයක වෙළෙඳපොළ වටිනාකමක් සහිත කුඩු තොගයක් ගිය සතියේ ගන්දර පොලීසිය අල්ලා ගත්තේය. මුහුදු මාර්ගය ඔස්සේ ආ මෙම තොගය, ප්‍රාදේශීය පොලීසියක් අල්ලා ගත් ලොකුම ලෝඩ් එක බැවින්, ඒ කෙරෙහි අප අවධානය යොමු කළ යුත්තේය. මාලයක් කඩාගෙන දුවන හොරෙක් ඇල්ලීම පිණිස රාළහාමි දිව යන්නේ, පළාතේ පොලිස් ලොක්කාට ඇමතුමක් ලබාදී අවසර ලබා ගෙන නොවේ. සිමෙන්ති කොට්ට සේ එන කුඩු තොගයක් පිළිබඳව ආරංචියක් ලද විට, එය වැටලීම සඳහා, ඉහළ පුටුවල අවසරය ගැනීම සාමාන්‍ය සිරිතය. හතර අතටම ගාස්තු ගෙවන බැවින්, මෙම අවසර ගැනීම් කළ යුතු බව පහළ පොලිස් ඉව දන්නේය. ඊළඟට, දේශපාලන රැකවරණ ලැබීමය. හැම සාර්ථක දේශපාලකයෙක්ම පිටුපසම, මේ ජාතියේ ජාවාරම්කාරයෙක් සිටිය යුතු බව, ඒ කාලයේ කතාව විය. දැන් ඒ තානය සපුරාම වෙනස්ව ඇත්තේය. දෙසිය විසිපහ සුද්ධ වීම හේතුවෙන් කුඩු ජාවාරම්මු ප්‍රධාන ජාවාරම් කල්ලි සඳහා ඔළුවටම පහර වැදී අවසන්ය. රට පුරා අඬබෙර ගසා සිදු කළ සමහර මෙහෙයුම් මඟින් අල්ලා ගත්තේ, අවසාන පාරිභෝගිකයා ය. එසේ වූවා කියා වෙළඳාමට පාඩුවක් සිදු වූයේ නැත.
දැන් අහුවන්නේ තොග මුදලාලිලාය.
මේ දිනවල සුළි කුණාටුවක් හේතුවෙන් වැස්සෙන් තෙත බරිතව සිටින අපගේ අපේක්ෂාව මත්ද්‍රවය ඇල්ලීම සඳහා ද එවන් කුණාටුවක් ආ යුතු බවය. දැන් වැඩේ පටන් ගෙන තිබේ. මේ රටේ ජනයා සඳහා ලස්සන ජීවිතයක් සාක්ෂාත් කර දීමේ පළමු අවස්ථාව උදාවන්නේ මතෙන් තොර සමාජයක් නිර්මාණය කළ කල්හිය.
පොඩි එකා ඉස්කෝලේ එන්නේ ද මුද්දරයක් කෑමෙන් පසුය. මීට වසර තිහකට පෙර ළමා පරපුර ආශා කළේ තැපැල් කන්තෝරුවෙන් මුද්දරයක් ගෙන, එහි ඛේටය ගා, කවරයේ ඇලවීමටය. මේ මුද්දර වනාහි මත් මාත්‍රාවකි.පාසල අසල කඩයෙන් ද මුද්දර ලබාගැනීම පහසුය. මෙසේ නාස්ති වන්නේ රටේ ලස්සන ජීවිතය. ඒ සඳහා නිමාවක් සටහන් කළ හැකි එකම අවස්ථාව මෙය බැවින්, රටෙන් ඔය දහ ජරාව තුරන් කිරීම සඳහා ආණ්ඩුව තව තවත් අනුග්‍රහය ලබාදිය යුතු බව, වැව් පිටාර ගලන මේ මොහොතේ දිනමිණ ලියා දැන්වීමට කැමතිය.