කලාපීය සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා පාකිස්තාන නාවික හමුදාව විසින් වසර දෙකකට වරක් පවත්වනු ලබන බහුජාතික නාවික අභ්‍යාස මාලාවේ මීළඟ අදියර ලබන වසරේ පෙබරවාරියේදී පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘අමාන්’ නමින් හඳුන්වනු ලබන එම අභ්‍යාස මාලාවේ ලබන වසරේ අදියර පෙබරවාරි මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, ඒ සඳහා මෙවර රටවල් 50කට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මුහුදු කොල්ලකෑම් විරෝධී මෙහෙයුම්, ඒකාබද්ධ උපායමාර්ගික කටයුතු, ගලවා ගැනීමේ මෙහෙයුම්, නාවික අභ්‍යාස, සම්මන්ත්රණ, සමාජයීය සිදුවීම් හා ක්‍රීඩා ඉසව් ඇතුළු විවිධ අංග රැසකින් යුතුව පැවැත්වෙන අමාන් හමුදා අභ්‍යාස මාලාව මීට පෙර අවස්ථා 8කදී සිදු කර ඇති අතර, අරාබි මුහුදේ පැවැත්වෙන එම අභ්‍යාස මාලාවට ගල්ෆ් සහයෝගිතා රටවල් (GCC), නේටෝ සහ ෂැංහායි සහයෝගිතා සංවිධානයේ (SCO) නාවික හමුදාවන් ද සම්බන්ධ වන බව වාර්තා වේ.
ජාත්‍යන්තර ප්‍රජාව අතර ඇගැයීමකට ලක්වී ඇති ‘අමාන්’ නාවික හමුදා අභ්‍යාස මාලාව සමුද්‍රීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර සාමය පවත්වාගෙන යෑම සඳහා පාකිස්තාන නාවික හමුදාවේ කැපවීම ඉස්මතු කර ඇතැයි ද, අරාබි කලාපයේ රටවල් මුහුණ දෙන සමුද්‍ර ආරක්ෂක ගැටලු සහ අභියෝග ජයගැනිමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හමාස් – ඊශ්‍රායල යුද ගැටුම් හේතුවෙන් පසුගිය කාලය තුළ උද්ගත වූ රතු මුහුදේ යාත්‍රා කරන නෞකාවලට හවුති කැරලිකරුවන්ගෙන් මිසයිල ප්‍රහාර එල්ල වීම සහ හවුති කැරලිකරුවන්ගේ නිජබිම වන යේමනයට අමෙරිකාවෙන් ප්‍රහාර එල්ලවීම ඇතුළු ගෝලීය අර්බුද හමුවේ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධ ගැටලුවලට මුහුණ දෙන ජාත්‍යන්තර ප්‍රජාවට එම අභියෝග ජයගැනීමට සහ ඒ සඳහා මුහුණදීමට අවශ්‍ය වන පරිදි එම රටවල්වල නාවික හමුදා සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම ‘අමාන්’ හමුදා අභ්යාසමාලාවේ වත්මන් අරමුණ බව පාකිස්තාන නාවික හමුදාවේ ප්‍රධානි අද්මිරාල් නවීඩ් අෂ්රෆ් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.