එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් ගුවන් මගියකුගේ අත් බෑගය සොරා ගත් කැනඩාවේ ගණකාධිකාරීවරයකු, කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් පෙරේදා (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි දැනට එංගලන්තයේ වාසය කරන කාර්යාල සහායිකාවක් ලෙස සේවයේ නිරත පන්නිපිටිය ප්රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකගේ ගමන් මල්ල මෙසේ සොරාගෙන ඇත.
ඇය පෙරේදා (26) පස්වරු 1.30ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇයගේ අත් බෑගයේ රුපියල් දහ හතර ලක්ෂ විසි තුන් දහස් පන්සීයයක් වටිනා ස්ටර්ලින් පවුම් 2,700ක්, අලුත් ඇපල් වර්ගයේ ජංගම දුරකතන 2ක් සහ සැම්සුන් වර්ගයේ ජංගම දුරකතන 2ක් තිබී ඇත.
මේ ගුවන් යානය ගුවන්ගත වී මඳ වේලාවකින් පසුව, මේ අත් බෑගය නැති වී ඇති අතර ඒ පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් යානා කාර්ය මණ්ඩලය වෙත මේ කාන්තාව පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.
මේ පිළිබඳ ගුවන් යානයේ සොයා බැලීම් කළ ද එය සොයා ගැනීමට නොහැකි වූ පසුබිමක, මේ පිළිබඳ ගුවන් යානයේ නියමුවා වෙත දැනුම් දීමෙන් පසුව ඔහු මේ තොරතුරු කටුනායක ගුවන්තොටුපොළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විමර්ශන නිලධාරීන් වෙත දැනුම්දීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්වූ පසු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විමර්ශන නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ පොලීසියේ නිලධාරීන් ද සමඟ ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සහ ඔවුන්ගේ ගමන් මලු දැඩි පරීක්ෂා කිරීමකට ලක් කර තිබේ. එහිදී මේ නැති වූ අත් බෑගය ශ්‍රී ලංකාවේ යාපනය ප්රදේශයේ පදිංචිව සිටි, කැනඩාවේ ද පුරවැසිභාවය ද හිමි, 60 හැවිරිදි දැනට කැනඩාවේ පදිංචි ගණකාධිකාරීවරයකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත්ව ඇත.
සොරාගෙන තිබූ ස්ටර්ලින් පවුම් භාවිත කර, ඒ වනවිටත් ඔහු ගුවන් යානයේ අලෙවි කරන විස්කි බෝතල් 6ක් සහ සුවඳ විලවුන් බෝතල් 3ක් ද මිල දී ගෙන තිබේ. ඉතිරි ස්ටර්ලින් පවුම් මුදල සහ ජංගම දුරකතන ද එම අත් බෑගයේ තිබී සොයාගෙන තිබුණි.