ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6කට ආසන්න වටිනාකමකින් යුත් බී ලූනු තොගයක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනකු ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා ඊයේ (27) නියෝග කළේය.
කොළඹ 8 බේස්ලයින් මාවතේ පදිංචි වෙළෙඳ සහායකයකු කළ පැමිණිල්ලක් අනුව පිටකොටුව පොලීසිය මඟින් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය කරන ලදි.
එම ලොරියේ රියැදුරු සහ සහායකයා ඇතුළු සැකකරුවන් දොළොස් දෙනකු මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේය. එම සැකකරුවන් සමඟ සොරාගෙන තිබූ බී ලූනු තොගයෙන් කිලෝ 970ක් පිටකොටුව සහ අවට වෙළෙඳසල්වලට විකුණා තිබියදී පොලීසිය මඟින් සොයා ගත් බව අධිකරණයට දැනුම් දුන්නේය.
අත්අඩංගුවට පත් වූවන් අතර ව්‍යාපාරිකයන් සහ නාට්ටාමිවරුන් ද සිටින බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඉකුත් 24 වැනිදා පිටකොටුව 5 වන හරස් වීදිය තොග වෙළෙඳසලකට බහාලුමක් සවි කළ ලොරියකින් රැගෙන ආ බී ලූනු තොගයෙන් අඩක් තොග වෙළෙඳසලේ ගබඩා කර ඉතුරු තොගය මාබෝල ප්‍රදේශයේ ගබඩාවකට රැගෙන යන ලෙස හිමිකරු දැනුම් දීමෙන් අනතුරුව ලොරියේ සහායකයා සහ රියැදුරු එම බී ලූනු තොගයෙන් කිලෝ 2565ක් මාබෝල කරා යන අතරවාරයේදී විවිධ පුද්ගලයන් වෙත විකුණා ඇති බවට පැමිණිලිකරු දැනුම් දුන් බව පොලීසිය අධිකරණයට දැන්වීය.