දුර්වල තත්ත්වයට පසුගිය වකවානුවේදී පත්ව තිබූ පාර්ලිමේන්තුව යළි ශක්තිමත් කිරීමේ වගකීම නව කථානායක අශෝක සපුමල් රන්වල මහතා වෙත පැවරී ඇති බව කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
නව කථානායක අශෝක සපුමල් රන්වල මහතා හා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අතර පෙරේදා (26) අගරදගුරු නිල නිවසේදී සිදුවූ හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වූ අගරදගුරු හිමිපාණන් සඳහන් කළේ නව කථානායක අශෝක රන්වල මහතා වෙත අති විශාල කාර්යභාරයක් පැවරී ඇති බවයි. පාර්ලිමේන්තුව තුළ හා මහජන නියෝජිතයන් සතුව තිබිය යුතු විනය, සංවර බව පසුගිය වකවානුවේදී විනාශ වී තිබූ ආකාරය දක්නට ලැබුණු බවත් පාර්ලිමේන්තුව දුර්වල තත්ත්වයකට පත්වන අයුරු දක්නට ලැබුණු බවත් අගරදගුරු හිමියෝ පැවසූහ. එබැවින් එලෙස විනාශ වූ පාර්ලිමේන්තුව ශක්තිමත් ලෙස ගොඩනැඟීමේ වගකීම නව කථානායකවරයා වෙත පැවරෙන බවත් උන් වහන්සේ සඳහන් කළහ. එමෙන්ම අශෝක රන්වල මහතා ඇතුළු කණ්ඩායමට අවශ්‍ය සහාය ලබා දීමට අපේක්ෂා කරන බවත් කාදිනල් හිමියෝ පැවසූහ.
එහිදි අදහස් දැක්වූ නව කථානායක අශෝක සපුමල් රන්වල මහතා සඳහන් කළේ රටේ පොදු මහජනතාව ඇතුළු සියලු දෙනා ජාතික ජනබලවේගයේ නියෝජිතයින්ගෙන් අපේක්ෂා කරන යහපත් රටක් ගොඩනැඟීම උදෙසා සියලු ප්රයත්නයන් දරන බවයි. එමෙන්ම සියලු ආගමික නායකයන්ගේ ආශිර්වාද, මඟපෙන්වීම, උපදෙස් ද අනුගමනය කරමින් කටයුතු කරන බවත් එතුමන්ගේ ආශිර්වාදය සෑම මොහොතකම අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය. එමෙන්ම රටට ගෞරවය හා අභිමානය ගෙන එන පරිදි සෑම මොහොතකම කටයුතු කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම නව කථානායක අශෝක රන්වල මහතා මුස්ලිම් සමස්ත ලංකා ජාමියතුල් උලමා සංවිධානයේ සහ දවටගහ මුස්ලිම් පල්ලියේ සාමාජිකයන් ද හමු වූයේය.