හලාවත පොලිස් කොට්ඨාසයේ කොස්වත්ත පොලිස් වසමට අයත් කිරිමැටියාන, තුලාවල මාර්ගයේ පිහිටි නිවෙසකට සොරකම් කිරීමට ඇතුළු වූ අයකුට එම නිවෙසේ හිමිකරු තැබූ වෙඩි ප්රහාරයකින් බරපතළ ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පෙරේදා (26) අලුයම 2.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත.
කිරිමැටියාන, නෙළුම් වැව ජනපදයේ පදිංචි කළුවාගේ අසිත් මාධව නමැති පුද්ගලයකු මෙසේ තුවාල ලබා රෝහල්ගත කර ඇත. වෙඩි වැදුණු සැකකරු එම නිවෙසට සූක්ෂ්ම ලෙස ඇතුළු වී නිවෙසේ භාණ්ඩ සොරා ගැනීමට යාමේදී තමාට අයත් බලපත්ර සහිත බෝර 12 ගිනිඅවියෙන් වෙඩි තැබූ බව නිවෙසේ හිමිකරු පොලීසිය හමුවේ පවසා තිබේ. වෙඩි ප්රහාරයෙන් සැකකරුගේ වම් බාහුවට බරපතළ ලෙස තුවාල සිදු වී අධික ලෙස ලේ වහනය වී ඇති බවත්, අනතුරුව ඔහු 1990 ගිලන් රථ සේවයට දැනුම් දී මාරවිල මූලික රෝහල වෙත රැගෙන ගොස් මූලික ප්රතිකාර ලබාදීමෙන් පසු තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවත් කොස්වත්ත පොලීසිය සඳහන් කරයි. කොස්වත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදු කරයි.