අත්තනගල්ල අංක 02 මහේස්ත්රාත් අධිකරණය මඟින් දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු දහයක් නිකුත් කර තිබූ කසිප්පු ජාවාරම්කාර විත්තිකරුවකු මාස හයකට වැඩි කාලයක් තිස්සේ මිනුවන්ගොඩ ප්රදේශයේ සැඟවී සිටියදී පෙරේදා (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නුංගමුව පොලීසිය පැවසීය. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුංගමුව පොලිස් වසමේ පදිංචි කසිප්පු ජාවාරම්කරුවකු බවද පොලීසිය පැවසීය. කසිප්පු අලෙවි කිරීමේ චෝදනා යටතේ මොහුට එරෙහිව අත්තනගල්ල අංක 02 මහේස්ත්රාත් අධිකරණය ඉදිරියේ පවරා ඇති නඩු දහයක් සඳහා ඇප මත මුදා හැර සිටියදී දිගින් දිගටම අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු දහයක් නිකුත් කර තිබිණ. මොහු අත්අඩංගුවට ගැනීම සඳහා නුංගමුව පොලීසිය මාස හයකට වැඩි කාලයක් පරීක්ෂණ පවත්වා ගෙන ගිය නමුත් එය අසාර්ථක වී තිබිණ. මේ අතර පොලිස් විශේෂ කාර්යාංශයේ තොරතුරකට අනුව නුංගමුව පොලීසියේ පොලිස් නිලධාරින් පිරිසක් මිනුවන්ගොඩ ප්රදේශයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී වරෙන්තුකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබිණි.