මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙහි නිවාස ලබා ගැනීමට ඊයේ (28) සවස වන විට නවක මන්ත්‍රීවරුන් 94ක් අයදුම්පත් යොමු කර ඇති බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් අනාවරණය කළේය.
මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස 120ක් පවතින අතර ඉන් මහජන නියෝජිතයන් වෙත ලබා දෙන්නේ 112ක් පමණි.
අනෙක් නිවාස එම නිවාස සංකීර්ණයේ සේවා සපයන අංශවල සේවකයන්ගේ පරිහරණය වෙනුවෙන් අතීතයේ සිටම වෙන් කර ඇත.
මෙම නිවාස ලබා ගැනීම සඳහා අයදුම්පත් යොමු කර ඇති මන්ත්‍රීවරුන් හට පාර්ලිමේන්තුව ආරම්භ වන ලබන තුන්වැනිදා වන විට ලබාදීමට සැලසුම් කර ඇත.
එහෙත් ඇතැම් නිවාස තවමත් පිළිසකර කරමින් පවතින අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ මහජන නියෝජිතයන් පිරිසක් එම නිවාසවල වාසය කරන බව ද එම නිලධාරියා අනාවරණය කළේය.
එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද නැවත නිවාස ලබා ගැනීම වෙනුවෙන් අයදුම්පත් යොමු කළ යුතු වේ. නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් යොමුකර ඇති මහජන නියෝජිතයන්ගෙන් වැඩි පිරිස ජාතික ජන බලවේගයේ නියෝජිතයන් වේ.
කොළඹ සිට කිලෝමීටර හතළිහක් ඇතුළත අදාළ මන්ත්‍රීවරුන්ට හෝ බිරින්දෑවරුන්ට නොමැති වීම, මන්ත්‍රීවරුන් හෝ බිරින්දෑවරුන් වෙනත් නිල නිවාස පරිහරණය නොකිරීම යන කරුණු මන්ත්‍රී නිවාස ලබාදීමේදී අවධානය යොමු කරන ප්‍රධාන සාධක වේ. ඒ අනුව කිලෝමීටර 40ට වැඩි හා දුර බැහැර මන්ත්‍රීවරුන්ට මෙම නිල නිවාස ලබාගැනීම සඳහා අයදුම් කළ හැකිවේ.