Tuesday, May 6, 2025
Home » පත්තර මහගෙදර ඉපැරණි තොරතුරු ගබඩාව

පත්තර මහගෙදර ඉපැරණි තොරතුරු ගබඩාව

by mahesh
November 29, 2024 1:00 am 0 comment

උදිත ගුණවර්ධන

– සියවසකටත් වඩා පැරණි පුවත්පත් සහ ලේඛන
– අතීත ඡායාරූප සිහිවටන දහස් ගණනක්
– පත්තර ආයතනයක් සතු ලොකුම පුස්තකාලය

පුස්තකාලයාධිපති රසිකා නෙලන්ති ලියනගම

පුස්තකාලයාධිපති රසිකා නෙලන්ති ලියනගම

රටම දන්නා සාහිත්‍යකරුවන්, කලාකරුවන්, මාධ්‍යකරුවන් වැඩිපුරම ගැවසුන තැනක් ඇතිනම් ඒ ලේක්හවුසියේ මාධ්‍ය පුස්තකාලයයි. අපට මතක ඇති කාලයේ එහි ගැවසුණු අය අතර රටම දන්නා මාධ්‍යවේදීන් කලාකරුවන් රැසකි. මෙරට තිබෙන පැරණිම සහ ප්‍රධානතම මුද්‍රිත මාධ්‍ය ආයතනය වන්නේ ලේක්හවුස් ආයතනයයි. ආසියාවේ පැරණිම පුවත්පත් සමූහය වන දිනමිණ, සිළුමිණ, ඩේලි නිවුස් මෙන්ම සන්ඩේ ඔබ්සවර් ද මෙහි ප්‍රකාශනයන්ය. මෙරට පුස්තකාල අතර ආයතනිකව තිබෙන ප්‍රධානම පුස්තකාලය ලෙස හඳුන්වා දිය හැක්කේ ලේක්හවුස් මාධ්‍ය පුස්තකාලයයි. මෙරට තිබෙන ප්‍රධානම පුස්තකාල වන රාජ්‍ය ලේඛනාගාරය, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන මධ්‍යස්ථානයෙන් පසු මෙරට පුවත්පත් සහ සෙසු ප්‍රකාශන සුරක්ෂිත ලෙස සංරක්ෂණය කර ඇති ප්‍රධානම පුස්තකාලය ලෙස මෙම පුස්තකාලය හඳුන්වා දිය හැකිය. ලේක්හවුස් මාධ්‍ය පුස්තකාලය හඳුන්වනු ලබන නම වන්නේ ඩී.ආර්. විජයවර්ධන මාධ්‍ය පුස්තකාලය ලෙසය. ලේක්හවුස් හි ඩී.ආර්. විජයවර්ධන මාධ්‍ය පුස්තකාලය ආරම්භය දුර අතීතයකට අපව ගෙන යයි. මෙම පුස්තකාලය ආරම්භ කිරීමට මූලාරම්භය තබා ඇත්තේ මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය සංවිධානාත්මක සහ ආයතනගත කිරීම සඳහා ලොකුම මෙහෙවර ඉටු කරන ලද විජයවර්ධන මහතා විසිනි. ඒ සඳහා මූලිකව එක් කරන ලද පොත් ලෙස හඳුනා ගෙන තිබෙන්නේ ඔහු විසින් පුද්ගලිකව පරිහරණය කරන ලද පොත්පත් මඟින් මෙම පුස්තකාලය ආරම්භ කළ බවය. එසේ ආරම්භ කරන ලද ලේක්හවුස්හි ඩී.ආර්. විජයවර්ධන මාධ්‍ය පුස්තකාලය වර්තමානයේ තිබෙන ස්ථානයේ ස්ථානගත කර දශක කිහිපයකි.

සාමාන්‍ය පුස්තකාලයක අරමුණ වන්නේ පාඨක පිරිසක් වෙත පොතපත කියැවීමට අවස්ථාවක් ලබා දීම පමණක් වුවද මෙම පුස්තකාලයේ අරමුණ එයට වඩා බොහෝ සෙයින් වෙනස්ය. මෙහි ප්‍රධාන අරමුණ බවට පත්ව තිබෙන්නේ ආයතනයේ සිටින මාධ්‍යවේදීන් වෙත අවශ්‍ය තොරතුරු ලබා දීම ඒ ආශ්‍රිත කරුණු සඳහා ඉඩකඩ විවෘත කර දීමය. එමෙන්ම මාධ්‍යවේදීන් විසින් සොයා ගත් තොරතුරු තවදුරටත් පෝෂණය කිරීමට ද තොරතුරු තවදුරටත් තහවුරු කිරීමටද මෙම පුස්තකාලය ලබා දෙන්නේ අතිමහත් සහායකි. ඒ සඳහා කැප වූ වෘත්තීය නිපුණත්වය ඉහළින්ම ඇති කාර්ය මණ්ඩලයක් ද සිටියි. එම වෘත්තීය කාර්ය මණ්ඩලය සඳහා නායකත්වය ලබා දෙන්නේ ඩී.ආර්. විජයවර්ධන මාධ්‍ය පුස්තකාලයේ පුස්තකාලයාධිපතිනිය වන රසිකා නෙලන්ති ලියනගම මහත්මිය විසිනි.

සතියේ වැඩකරන දිනවල මෙන්ම සති අන්තයේදීද මෙම පුස්තකාලය විවෘතව තැබෙන අතර එහි ඇති ඡායාරූප සහ සෙසු තොරතුරු ආයතනයේ පළ වන සියලු පුවත්පත් සඳහා යොදා ගනු ලබයි. වසර සියයකට වැඩි පුවත්පත් පිටපත් මෙන්ම ඡායාරූපද මෙම මාධ්‍ය පුස්තකාලය සතුව තිබේ.

එතකොට මෙහි තිබෙන ඡායාරූප පිටතින් එන අයට ලබා ගන්න පුළුවන්ද? පාඨක ඔබට ප්‍රශ්නාර්ථයක් මතුවනු ඇත. අප ඒ පිළිබඳව මාධ්‍ය පුස්තකාලයේ පුස්තකාලයාධිපතිනී රසිකා නෙලන්ති ලියනගම මහත්මියගෙන් විමසුවෙමු.

කර්තෘ මාණ්ඩලිකයන්, ආයතනයේ සේවකයන්ට පමණක් නොවෙයි බාහිර පාර්ශ්වයන්ටද මෙම පුස්තකාලයෙන් සේවා ලබා ගන්න පුළුවන්, පැරණි ඡායාරූප, තොරතුරු ඇතුළු අවශ්‍ය කරනු ලබන බොහෝ දේවල් මෙම පුස්තකාලයෙන් ලබා ගන්න පුළුවන්, ලියනගම මහත්මිය සඳහන් කළාය.

ලේක්හවුස්හි විජයවර්ධන පුස්තකාලය ප්‍රධාන අංශ දෙකකින් යුක්තය. ඒ ප්‍රලේඛන සහ විමර්ශන අංශයයි. මෙම අංශ අතරින් පුවත්පත් ලිපි එකතුව විශේෂය. එහිදී ආයතනය පළ කරනු ලබන සියලු ජාතික පුවත්පත්, සති සහ වාර ප්‍රකාශනවල සියලු ලිපි එකතුවක් සහ ආයතනයෙන් බාහිර ප්‍රකාශනවල ලිපිද විවිධ විෂයන් සහ පුද්ගලයන් අනුව වෙන් වෙන්ව සකස් කර තිබේ. මේ අතර ලොව විවිධ අංශවලින් ප්‍රකට වූ විවිධ පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් ගොනු දහස් ගණනක් තිබේ. විවිධ අංශවලින් පර්යේෂණ කරනු ලබන පිරිස් වෙත අවශ්‍ය කරනු ලබන තොරතුරු මෙම පුස්තකාලය හරහා ලබා ගැනීමට විවිධ පිරිස් මෙම පුස්තකාලය සමඟ සම්බන්ධ වේ.

මෙම පුස්තකාලයේ තිබෙන සුවිශේෂම අංශය ලෙස සඳහන් කළ හැක්කේ ඡායාරූප එකතුවයි. මෙහිදී එදිනෙදා පුවත්පත්වල පළ වන ඡායාරූප, මාණ්ඩලික ඡායාරූප ශිල්පීන් ලබා ගන්නා ඡායාරූප මෙන්ම පෞරාණික වටිනාකමක් සහිත ඡායාරූප මෙන්ම පැරණි කාටූන් ශිල්පීන්ගේ කාටූන් ආදි සියලු ඡායාරූප පුස්තකාලය තුළ සංරක්ෂණය කර තිබේ. මෙහි ඇති වඩාත් වැදගත් ඡායාරූප වන්නේ දශක හය හතකට පෙර ආයතනයේ ඡායාරූප ශිල්පීන් ලබා ගන්නා ලද ඡායාරූපයි. මෙහි ඇති ඇතැම් ඡායාරූපවල පිටපත් ඇත්තේ ලේක්හවුස් මාධ්‍ය පුස්තකාලයේ පමණි.

කාලයත් සමඟ නවීන යුගයට ගැලපෙන ලෙස විජයවර්ධන මාධ්‍ය පුස්තකාලය නවීකරණයට බඳුන්ව තිබේ. ඒ සඳහා යොදා ගනු ලබන්නේ ඇසට් ප්‍රෝ නම් වූ මෘදුකාංගයයි. එමඟින් මෙතෙක් කල් සංකීර්ණව තිබූ බොහෝ දේවල් සරල දෙයක් බවට පත්ව තිබේ. එමඟින් විමර්ශන කටයුතු වඩාත් පහසු වී තිබේ. මේ අතර ලේක්හවුස් ආයතනයේ සියලු මාධ්‍යවේදීන්ගේ නමින් පළ වූ ලිපි පහසුවෙන් නැවත සොයා ගැනීමට, විමර්ශනය කිරීමටද හැකියාව ලැබී තිබෙන්නේ නවීන මෘදුකාංග සමඟය. මාධ්‍යවේදියාගේ නමින් සෙවුම් කිරීම මඟින් ඔහු විසින් වසර දහයකට අඩු කාලයකදී ලියන ලද ලිපි පුවත්පත් වාර්තා ඇතුළු සියල්ල සොයා ගැනීමට හැකියාව ලැබී තිබේ. එය වඩාත් හොඳ ක්‍රමයක් වන්නේ පුවත්පත් කොටස් කඩදාසි කාලයත් සමඟ විනාශ වුවද නවීන තාක්ෂණය තුළ ගොනු කිරීම නිසා එය වඩාත් හොඳ දෙයක් බවට පත්ව තිබීමය. ඊට අමතරව ආයතනය පළ කළ දිනමිණ, සිළුමිණ ඇතුළු පුවත්පත්වල වසර සියයකට වැඩි පුවත්පත් පිටපත්ද ස්කෑන් තාක්ෂණය සහිතව පරිගණකගත කර තිබේ. ඒ නිසා 1909 මුල් දිනමිණ පුවත්පත, මුල්ම සිළුමිණ පුවත්පතේ පිටපත ඇතුළු සියලු පැරණි පුවත්පත් විමර්ශනය කිරීමට හැකියාව තිබේ. මේ සඳහා අලුතින් මයික්‍රෝ ෆිල්ම් තාක්ෂණය යොදා ගෙන තිබේ.

මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකු යනු නිරතුරුව දැනුම යාවත්කාලීන කරගත යුතු කෙනෙකි. ඒ සඳහා මාධ්‍ය පුස්තකාලය තුළ ඉහළ වටිනාකමක් සහිත ග්‍රන්ථ, සඟරා දසදහසකට වැඩි ප්‍රමාණයක් තිබේ. එමෙන්ම රජයේ ගැසට්, සිංහල ශබ්දකෝෂයේ වෙළුම්, සිංහල විශ්වකෝෂයේ වෙළුම්, සුමංගල ශබ්දකෝෂය මෙහි ඇතුළත්ව තිබේ.

තවද නඩු කටයුතු සඳහා අවශ්‍ය කරනු ලබන පුවත්පත් වාර්තාවල සහතික කළ පිටපත් ලබා ගත හැකි පුස්තකාලය වන්නේද මෙයයි.

ලේක්හවුස් ඩී.ආර්. විජයවර්ධන පුස්තකාලය සඳහා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට අවශ්‍ය කරනු ලබන තොරතුරු සහ වැඩිහිටියන් වෙත අවශ්‍ය කරනු ලබන තොරතුරු සතියේ දින පහ තුළ උදෑසන නවයේ සිට තුනයි තිහ දක්වා ලබා ගැනීමට හැකියාව තිබේ.

ආසියාවේ පැරණිම පුවත්පත් ආයතනය සතුව තිබෙන ඩී.ආර්. විජයවර්ධන මාධ්‍ය පුස්තකාලය සැබැවින්ම රටට මෙන්ම පත්තර මහගෙදරටද ආභරණයකි. සියල්ලන්ගේ දැනුම්වත්භාවය සඳහා පුස්තකාලය සහ පුස්තකාල කාර්ය මණ්ඩලය සිදු කරන ලබන කාර්යභාරය අතිමහත්ය.

පැරණි ඡායාරූප සංරක්ෂණාගාරය

පැරණි ඡායාරූප සංරක්ෂණාගාරය

කාර්ය මණ්ඩලය

කාර්ය මණ්ඩලය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT