Home » අධ්‍යක්ෂවරයා මගෙන් ඉල්ලන දේ කොහොම හරි දෙන්නයි මම උත්සාහ කරන්නේ

අධ්‍යක්ෂවරයා මගෙන් ඉල්ලන දේ කොහොම හරි දෙන්නයි මම උත්සාහ කරන්නේ

කළණ ගුණසේකර

by mahesh
November 29, 2024 1:00 am 0 comment

ශ්‍යාමා සමරසිංහ

වේදිකාව ඔහුගේ පළමු ගුරුවරයාය. අනතුරුව රූපවාහිනී තිරය සහ රිදී තිරය ඔහු දික්විජය කරන්නේය. සති අන්තයේ සෑම දිනකදීම රාත්‍රී 8.30ට ස්වර්ණවාහිනී නාළිකාවෙන් ඔබ හමුවට එන “රීකන්ඩිෂන් කෙල්ල” ටෙලි සිත්තමේ දොස්තර මහත්තයා හෙවත් කුසල්ගේ චරිතයට පණ පොවන ඔහු කළණ ගුණසේකරයි. කළණ සමඟ කළ කතා බහ මෙසේ දිගහරිමු.

ඔබ ගැන හඳුන්වා දෙන්න?

මගේ පාසල් අධ්‍යාපනය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයයි. මම පුංචි කාලේ “මුතුහර” ළමා සමාජයට එකතු වුණා. ළමයකු හැටියට එයින් මට කලාව ගැන යම් පන්නරයක් ලැබුණා. 2001දී මම පාසල් අධ්‍යාපනයට සමු දුන්නා. ඊට පස්සේ මම යොමු වෙන්නේ, වේදිකා නාට්‍ය කලාවටයි. ප්‍රේම කුමාර කරුණාරත්න මගේ වේදිකා නාට්‍ය ගුරුවරයා. ඔහු යටතේ මම වේදිකා නාට්‍ය කලාව හැදෑරුවා. අපි එකතු වෙලා බොහෝ නාට්‍ය වැඩමුළු පැවැත්වුවා. 2005 වර්ෂය කියන්නේ මගේ වේදිකා නාට්‍යය කලාවේ සංධිස්ථානයක්. එකල කළ “දාස මල්ලිගේ බංගලාව” වේදිකා නාට්‍ය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට ඇතුළුව රාජ්‍ය සම්මාන 07ක් දිනා ගන්නට අපට පුළුවන් වුණා.

කලාව සම්බන්ධයෙන් ඔබේ හැදෑරීම් කෙසේ වන්නේ ද ?

ප්‍රේම කුමාර කරුණාරත්න ගුරුවරයා යටතේ මම වේදිකා රංගනය ඉගෙන ගත්තා. ඒවගේම එකල කළ වැඩමුළු මගේ අත්පොත් වුණා. ජාතික චිත්‍රපට සංස්ථාව විසින් දියත් කළ සිනමාව පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවත්, ඉන්දියාවේ පූහු සිනමා ආයතනය විසින් කළ සිනමා පාඨමාලාවත් හැදෑරුවා.

වේදිකාව ඔබේ අත්පොත නම්, වේදිකාව පිළිබඳ ඔබේ හැඟීම කුමක්ද ?

බහුචිතවාදියා

බහුචිතවාදියා

වේදිකාව කියන්නේ ඕනෑම නළුවෙකුට මූලික අභ්‍යාස කරන්න තියෙන හොඳම තැනක්. මොකද කියනවානම්, අපට සම්පූර්ණ චරිතයක් මාස ගණනක් තිස්සේ පුහුණු කරලා කරන්න තියෙන එකම තැන මෙතැනයි. අනෙක් කිසිම තැනක එහෙම නෑ. ඒ නිසා සිනමා, ටෙලි නාට්‍ය නළුවෙක් වෙන්න හිතන ඕනෑම කෙනෙක් වේදිකාව පරිහරණය කරලා තියෙනවා නම්, ඒක එයාට විශාල අද්දැකීමක් වෙනවා.

අද අපේ ටෙලි නාට්‍යය තියෙන තැන ගැන ඔබේ හැඟීම කුමක්ද ?

අපේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය සිද්ධ වෙන්නේ අමාරු තැනක සිටයි. නිෂ්පාදකයාට ලැබෙන ලාභය අවම තත්ත්වයකයි තියෙන්නෙ. නමුත්, අපි බලාපොරොත්තු වෙන මට්ටමේ උසස් නිර්මාණයක් කරන්න නම් ඊට සරිලන වටිනාකම් ප්‍රමාණයක් තියෙන්නත් ඕනෑ. ඒ වටිනාකම්, ටෙලි නාට්‍ය විකාශනය කෙරෙන නාළිකාවකට ගෙවා ගන්න පුළුවන් වුණු දවසට ශ්‍රී ලංකාවේ මීට වඩා ලස්සන නිර්මාණ සිදු වේවි. ඒ තත්ත්වය නිර්මාණය කිරීම නිර්මාණකරුවා වගේම, විකාශන ආයතනයේත් වගකීමක් වෙනවා.

නිර්මාණයකදී ඉතා වැදගත් වෙන තීර රචනය ගැන කතා කරමු.

මම රංගනයෙන් දායකත්වය සපයලා තියෙන පළමු චිත්‍රපටයයි, පළමු ටෙලි නාට්‍යයි දෙකේම සංකල්ප තෙලිඟු සහ මලයාලම් නිර්මාණ වගේ හොඳ තැනක තියන්න පුළුවන්. නිෂ්පාදන පිරිවැය තමයි අපට අවම කරගන්න වෙන්නේ. අපට හොඳ තිර රචකයෝ ඉන්නවා. අපේ සිනමාව මීට වඩා හොඳට ප්‍රේක්ෂකයන් අතරට යනවා නම්, කර්මාන්තයක් වශයෙන් තියෙනවා නම්, ශ්‍රී ලංකාවේ සිනමාව මීට වඩා හොඳ තත්ත්වයකට එයි කියලා මම හිතනවා.

මගේ සිම්බා

මගේ සිම්බා

අපි “රීකන්ඩිෂන් කෙල්ල” ගැන කතා කරමු.

“රීකන්ඩිෂන් කෙල්ල” කියන්නේ අනුර ඒකනායකගේ තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණයයි. නූතනවාදය හා තාක්ෂණය එක්ක තරුණ ජීවිත වෙනස් වෙන ආකාරයයි මෙහි කතා කෙරෙන්නේ.

මෙතෙක් ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ ගැන ඔබට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද ?

මම ඕනෑම නිර්මාණයක් භාර ගන්නේ පිටපත කියවලයි. මට තියෙන වගකීම තමයි, අධ්‍යක්ෂවරයා මගෙන් ඉල්ලන චරිතය කොහොම හරි ගොඩනඟන එක. මම රඟපාන චරිතය මට ඒ විදිහට ගොඩනඟන්න බැරි නම් ඒක ප්‍රේක්ෂකයාට දනවන්නත් මට බෑ. ඒ නිසා පළමුවෙන්ම මට විඳින්න බැරි චරිතයක් මම භාරගන්නේ නෑ.

ඔබ රංගනයෙන් දායක වූ චිත්‍රපට මොනවාද ?

“බහුචිතවාදියා” පටන් “මගේ සම්බා” දක්වා චිත්‍රපට 15ක පමණ රංගනයෙන් දායකවෙලා තියෙනවා.

එයින් අටක් පමණ ඉදිරියේදී ප්‍රේක්ෂකයන් අතරට එන්නත් තියෙනවා. මේවා බොහොමයක් තරුණ අලුත් සිනමාකරුවන්ගේ නිර්මාණයි.

ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද ?

මට බොහෝ අය කතා කරන්නේ, සුන්නා, ප්‍රියන්ත, ප්‍රිමාල් කියන නම්වලින්. ඒව නිර්මාණවල චරිත. ප්‍රේක්ෂකයන් ඒ නමින් කතා කරනකොට නළුවෙක් විදිහට ඒ අමුතු හැඟීම මම විඳිනවා. ප්‍රේක්ෂකයා නැතුව නිර්මාණයක් කරලා වැඩක් නෑ. එනිසා ප්‍රේක්ෂකයා හරිම වටිනවා.  

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT