බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය යළි පවත්වන ලෙස ඉල්ලා මිලියන 2.8ක ජනතාවකගේ අත්සනින් යුතු ‘ඔන්ලයින්’ පෙත්සමක් එරට පාර්ලිමේන්තු වෙබ් අඩවියට ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය ජූලි මාසයේ පැවැති බ්‍රිතාන්‍ය මැතිවරණයේදී කන්සර්වේටිව් පක්ෂයට ඡන්දය දුන් එරට බටහිර මිඩ්ලන්ඩ් පළාතේ පදිංචිකරුවකු විසින් අත්සන තබමින් ආරම්භ කරනු ලැබු බව කියන එම ඔන්ලයින් පෙත්සම නිරීක්ෂණයට ලක් කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පෙත්සම් කමිටුව ලබන වසරේ ජනවාරි 6 වැනිදා එය විවාදයට ගැනීමට නියමිත බව තහවුරු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
වසර 2015දී ස්ථාපිත කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු පෙත්සම් කමිටුවට අනුව එවැනි පෙත්සමක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට අත්සන් ලක්ෂයක් ප්‍රමාණවත් වන අතර, මැතිවරණය යළි කැඳවන ලෙස ඉල්ලා ඇති පෙත්සමට අත්සන් ලක්ෂ 28ක්ම තබා ඇති බැවින් එය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ තුන්වැනි ජනප්‍රියතම පෙත්සම බවට පත්වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
නැවත මැතිවරණයක් පැවැත්වීම දක්වා එම පෙත්සම දුරදිග නොගියද, කන්සර්වේටිව් පක්ෂයේ නායිකා කෙමී බැඩනොච්ට කම්කරු පක්ෂයේ අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට එය ප්‍රමාණවත් වනු ඇතැයි වාර්තා වේ. ලක්ෂ 20කට වැඩි ජනතාව ඔහුට අගමැති ධුරයෙන් ඉවත්වීමට බල කර ඇති බවට කෙමී බැඩනොච් දැනටමත් ප්‍රකාශයක් නිකුත් කර ඇතැයි ද වාර්තා වේ.