ශ්‍රී ලංකාවට ධාරානිපාත වර්ෂාවක් ඇති කළ නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් තමිල්නාඩු ප්‍රාන්තයේ පුදුචෙරි වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඊයේ වන විට තමිල්නාඩුවේ පළාත් රැසකට දැඩි වර්ෂාපතනයක් ඇද වැටී ඇති අතර, පවතින තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අඩාළ විය හැකි බවට තුත්තුකුඩි, මදුරෙයි, තිරුචිපල්ලි වෙත ගමන් ගන්නා සියලු මගීන්ට ඉන්ඩිගෝ ගුවන් සේවය දැනුම් දී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ‘ෆෙන්ගල්’ සුළි කුණාටුව ලෙස නම් කර ඇති මේ තත්ත්වය හෙට වන විට උතුරු තමිල්නාඩුවේ වෙරළ තීරය හරහා ගැඹුරු පීඩන අවපාතයක් ලෙස පැයට කිලෝමීටර් 50-60ක වේගයකින් ගමන් කරනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ ධීවරයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය තමිල්නාඩුවේ ප්‍රාන්ත නියෝජිතයන් සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවත්, ගැඹුරු අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බැවින් හැකි ඉක්මනින් නැවත වෙරළට පැමිණෙන ලෙස සියලු ධීවර බෝට්ටුවලට ගුවන් යානා, නෞකා සහ රේඩාර් පණිවුඩ යන්ත්‍ර මඟින් උපදෙස් ලබා දී ඇතැයි ද වාර්තා වේ.