රාජ්‍ය ආයතනවල දියුණුව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ එම ආයතනවල නිලධාරීන් සිදු කරන කැපකිරීම්වල පරිමාව මත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ඇමැතිවරයා මෙසේ පැවැසුවේ තම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බත්තරමුල්ල, අපේ ගම පිහිටි ජාතික ශිල්ප සභාවේ කටයුතු විමසා බැලීමට පෙරේදා (27) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.
මෙහිදී ජාතික ශිල්ප සභාවේ කාර්යාලය, කලාගාරය ඇතුළු ආයතන පරිශ්‍රය නිරීක්ෂණය කළ ඇමැතිවරයා එම කලාගාරය දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ඉහළ ආකර්ෂණයට ලක්වන ආකාරයෙන් පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස් දෙන ලදී.
එසේම ජන කලා කේන්ද්‍ර පරිශ්‍රයේ ක්‍රියාත්මක වන වේවැල්, ලී කැටයම්, බීරලු, පිත්තල, ස්වර්ණාභරණ, දැව වැනි අත්කම් නිෂ්පාදන වෙළෙඳ කුටි නිරීක්ෂණය කිරීමට ද එක්වූ ඇමැතිවරයා එම වෙළෙඳ කුටි පවත්වාගෙන යන ශිල්පීහු සමඟ සුහද කතාබහක ද නිරත විය. එහිදී ඔවුන් විසින් තම කර්මාන්ත පවත්වාගෙන යෑමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳව ද ඇමැතිවරයා දැනුම්වත් කරන ලදී. එහිදී ශිල්පීන්ට අවශ්‍ය පහසුකම් දීමටත්, ඔවුන්ගේ වෙළෙඳපොළ ප්‍රසාරණය කරගනිමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමට අවශ්‍ය සහාය දෙන ලෙසත් ඇමැතිවරයා ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජාතික ශිල්ප සභාවේ නිලධාරීන් සමඟ ආයතනයේ ඉදිරි සංවර්ධන කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳව ද සාකච්ඡා කළ ඇමැතිවරයා මෙලෙස පැවැසීය.
“සම්ප්‍රදායන් රැක ගනිමින් දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ඊළඟ පරම්පරාවට උසස් ජීවන තත්ත්වයක් ළඟා කරදීම අරමුණු කර ගනිමින් ශිල්පීන්ට ප්‍රතිලාභ දෙමින් ඔවුන් ආරක්ෂා කරගැනීම ජාතික ශිල්ප සභාවේ වගකීමක්. එසේම ආයතනය දියුණු කර ජාතික ශිල්ප සභාව ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගැනීමට ආයතනයේ සියලුම නිලධාරීන් සාමූහිකව කටයුතු කළ යුතුයි. එසේ ලබන ලාභය ආයතනයේ සේවකයන් සැමටම ප්‍රතිලාභ ලෙස නැවත දීමට විෂය භාර ඇමැතිවරයා ලෙස මම කටයුතු කරනවා.”
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු මේ අවස්ථාවට එක් වූහ.