තහනම් කළ ත්‍රස්තවාදී සංවිධානවලට නැවත හිස ඔසවන්න ඉඩ නොතබන ලෙස දෙවන පරපුර සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජයෙන් ඉල්ලයි.
දිනාගත් නිදහස තුළ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ලැබුණු ජන වරම ගැනීමට පැවැති නිදහස ඉවහල් වූ බවත් බෙදුම්වාදී ත්‍රස්තවාදයට නැවත හිස එසවීමට ඉඩ නොතබන ලෙසද ඉල්ලා සිටියි.
එමෙන්ම මියගිය ජාතීන් සමරන මුවාවෙන් නියඟලා මල නැවත එළියට ඇවිත් ඇති බවත් එල්ටීටීඊ සංවිධානයේ පාට කොඩිය නැවත එළියට පැමිණීමට උත්සාහයක් දරන්නේ නම් එය පරාජය කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් මේ රටේ ජනතාව අවදියෙන් සිටින බවත් දෙවන පරපුර සංවිධානයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.
උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා රටේ කුමන තැනක ඇති වුවත් බෙදුම්වාදය පරාජය කරන්න කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.
ඒ මහතා මේ බව කියා සිටියේ පෙරේදා (27) තලවතුගොඩ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 1960 – 70 දශකයේ මුල පුංචි තරුණයෙක් ලංකාව පුරා ඇවිදිමින් කියනවා අඩි 5000ට වඩා උස කඳුවල පරිසරය වනගත කරන්න කියා. පරිසර විනාශය නවත්වන්න කියා.
එහෙම නැතිනම් මම ජීවතුන් අතර සිටියත් නැතත් මහවැසි වැටෙන විට ගංවතුර ඇති වී කඳු ටික නාය යනකොට ගංගා ටික දෙගොඩතලා යන විට එය නවත්වන්න කාටවත් බැහැයි කියලා. එදා රෝහණ විජේවීර කියන තරුණයා කියපු ඒ යථාර්ථයට කවුරුවත් ඇහුම්කන් දුන්නේ නැහැ. අද එය යථාර්ථයක් බවට පත් වෙලා.
මේ මොහොතේ කුණාටු තත්ත්වයක්, ගංවතුර එක්ක දරුණු තත්ත්වයක් නිර්මාණය වෙලා. කළ වැරදි සමාජ ජීවන රටාවෙන් පරිසරය අපට පිළිතුරු දෙනවා. කඳු නාය යනවා. ගංගා ටික ගලා යනවා. ජීවිත විනාශ වෙනවිට සමස්ත ජන සමාජයම විනාශ වෙනවා. විපතට පත් වූ සියලු දෙනාට අපේ කනගාටුව ප්‍රකාශ කරනවා.
දෙවන පරපුර මගමානවක බළකාය පුළුවන් මට්ටමින් ජනතාවට සේවය කරන්න, සහනයක් දෙන්න කටයුතු කරනවා යැයි පැවසීය.