බාල වියේ සිටම පොතපත සමඟ ගත කළ ජීවිතයක් තිබූ හෙයින් මහාචාර්ය විමල් ජී. බලගල්ලේ වැනි ගුරු පෞරුෂයන්ගේ නාමයන් දැකීම පවා විශාල ආලෝකයක් සහ විමතියක් වූ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති, මහාචාර්ය හිනිදුම සුනිල් සෙෙනවි මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතාගේ ජන්ම ශත සංවත්සරය සහ බලගල්ලේ මහාචාර්යතුමන් සතුව තිබූ පොත් එකතුව ජාතික පුස්තකාලයේ පොත් තැන්පතුවට එක් කිරීම නිමිත්තෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී ඊයේ (28) පැවති උත්සව අවස්ථාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය:
“මේ අවස්ථාව මගේ ජීවිතයේ ලැබුණ දුර්ලභම භාග්‍යයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ මොකද: ගුරු උපහාරයක් කරන්න ලැබෙන මොහොතක් නිසා. මහාචාර්ය බලගල්ලේ අපේ ගුරුතුමා මට ශිල්ප දුන් ගුරුවරුන් අතුරින් ජ්‍යෙෂ්ඨතම ගුරුවරයකු හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. 1994 වසරෙයි මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එන්නෙ. 1994දී ඇවිල්ලා 1998දී තමයි සිංහල විශේෂ උපාධියක් කරලා විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්නෙ. ඒ අවුරුදු හතර පුරා නියමිත පාඨමාලා සියල්ලේම මහාචාර්ය බලගල්ලේ ගුරුතුමාට උගන්වන්න භාර වෙලා තිබුණු සෑම පාඨමාලාවකටම මම ශිෂ්‍යයකු ලෙස සහභාගි වුණා. ඒ වගේම ‘සිංහල සහ ජනසන්නිවේදන’ කියලයි ඒ කාලයේ අධ්‍යයනාංශය නම් කර තිබුණෙ. ඒ අධ්‍යයනාංශයට ඇතුළු වෙන කොට මුලින්ම අපට බෞද්ධ හා පාලි කොටස මුණගැසෙනවා. එතනින් පස්ස ඊට ටික දුරක් ඇතුළට වෙන්න තමයි සිංහල අධ්‍යයන අංශය තිබුණෙ. මම ශිෂ්‍යයකු ලෙස එතැනට පිවිසිලා උනන්දුවෙන් කරපු දෙයක් තමයි අධ්‍යයනාංශයේ කාර්යාල කාමරයට අමතරව ගුරුවරුන් සඳහා වෙන් වුණ කාමරය බලාගෙන යෑම. මොකද: ඒ කාමරවල ඉන්නෙ කවුද කියලා ඉතාම අපූරුවට නාමකරණය කරලා තිබුණා.
“කෙළවරේම තමයි බලගල්ල ගුරුතුමාගේ සහ මහාචාර්ය ඒ.වී. සුරවීර ගුරුතුමාගේ කාමර තිබුණෙ. අධ්‍යයනාංශ ප්‍රධාන කාමර පසු කර ගිය විට මහාචාර්ය ඒ.වී. සුරවීරයන්ගේ කාමරයේ දොරේ 1994 වර්ෂය වගේ වෙන කොට පුංචි සටහනක් තියලා තිබුණා. එවැනි ගුරු පෞරුෂයන්ගේ නාමයන් දැකීම පවා අපට විශාල ආලෝකයක් සහ විමතියක් වුණා. මොකද: පොත් සමඟ ගත කරපු ජීවිතයක් තමයි පොඩි කාලෙ ඉඳන් මටත් තිබුණෙ. පෞද්ගලිකව මගේ නිවෙසේ, ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම කියන ගමේ, මම උපදින කොටම මගේ නිවෙසේ විශාල පොත් එකතුවක් තිබුණා. ඒක ගමට කියවීම හුරු කරපු තැනක් හැටියට මා තේරුම් ගත්තේ සෑම පොතකම අවසන් පිටුවේ ‘සීගිරි පුස්තකාලය, නුගගල මාවත, හිනිදුම’ කියන ලිපිනය සහිතව පොත් බැහැරට දෙන කඩදාසියක් අලවලා සකස් කරලා තිබුණ නිසා. මගේ වැඩිමහල් සහෝදරයා තමයි ඒ පුස්තකාලය පවත්වාගෙන ගිහින් තිබුණෙ. ඒ නිසා පෞද්ගලික පුස්තකාලයක හැඩ රුව මට පුංචි කාලයේ ඉඳලම දැනගන්න ලැබුණා.
“විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ අප සමඟ බොහොම සමීපව කටයුතු කරපු ගුරුවරුන් අතුරින් කෙනෙක් තමයි මහාචාර්ය රත්නසිරි අරංගල ගුරුතුමා කියන්නෙ. එතුමාගේ මැදිහත් වීමෙනුයි පුස්තකාවල තොරතුරු, හැඩරුව, කොළඹ නගරයේ තිබෙන පොත් සාප්පු සහ වෙනත් පොත් එකතු පර්යේෂණ සඳහා පුස්තකාල පරිහරණය කිරීමේ අත්දැකීම ලැබුවේ. බලගල්ලේ මහාචාර්යතුමාගේ අවසන් ශිෂ්‍ය පරම්පරාව අතරේ මමත් සිටියා. ඊට අමතරව එතුමාගේ ඥානය ලබාගත් වෙනත් විශ්වවිද්‍යාලයන් සහ ශාස්ත්රාලයන් නියෝජනය කරන විශාල පිරිසක් සිටිනවා.”
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල මහතා මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සමරු දෙසුම පවත්වමින්:
“මේ සභාව පැවැත්වුණේ අරමුණු දෙකක් පෙරදැරි කරගෙනයි. එක් කාරණයක් තමයි මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතාගේ ජන්ම ශත සංවත්සරය සැමරීම. දෙවැනි කාරණය තමයි එතුමාගේ පෞද්ගලික පුස්තකාලයෙන් කොටසක් ජාතික පුස්තකාලයේ තැන්පතුවට එක් කිරීම. පෞද්ගලික පොත් එකතු ජාතික එකතුවට අනුබද්ධ කිරීම සම්බන්ධව අදහස් කිහිපයක් දක්වන්න මම කැමතියි. කේ. ජයතිලක එකතුව සහ මහාචාර්ය ඒ.වී. සුරවීර එකතුව ලබාදෙන්න පෞද්ගලිකව සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ජයතිලක මහතාගේ පොත්වලින් විශාල කොටසක් එතුමාගේ මහගෙදර නිදහස් පුස්තකාලයක් ලෙස පවත්වනවා. සාමාන්‍ය පාඨකයන්ට අවශ්‍ය කරන පොත් තමයි එතැන තිබෙන්නෙ. එතුමා ජීවතුන් අතර සිටියදීම ඒ දේවල් ජාතික පුස්තකාලයට දුන්නා. ඒ වගේ පොත් එකතු පනස් ගණනක් මේ ආයතනයේ තිබෙනවා. ඒ අතුරින් වික්‍රමසිංහ එකතුව බොහොම ප්‍රසිද්ධයි.”
මහා සංඝරත්නය, මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතාගේ ආදරණීය බිරිය වන ශීලා බලගල්ලේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මනෝජ් ආරියරත්න, මහාචාර්ය අශෝක ප්‍රේමරත්න, මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතාගේ පුතණුවන් වන වරුණ බලගල්ලේ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.