ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක සපුමල් රන්වල මහතා හමුවිය.
මෙහිදී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ෂාඕ ලෙජි (Zhao Leji) මහතාගේ සුබ පැතුම් පණිවිඩය චීන තානාපතිවරයා විසින් දසවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ ආචාර්ය අසෝක රන්වල මහතා වෙත පිළිගන්වන ලදි.
එසේම දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් පැවැති අතර, ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලීන සහයෝගිතාව සිහිපත් කළ නව කථානායකවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජය තුළ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා සඳහන් කළේ, දෙරටේ ව්‍යවස්ථාදායක ආයතන අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වීම වැදගත් බවයි. එමෙන්ම ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නව පාර්ලිමේන්තුවේදී ද ස්ථාපිත කිරීම ඒ සඳහා වැදගත් වන බව ද සඳහන් කළේය.
ආර්ථික සංවර්ධනය, දෙමුහුන් බීජ සංවර්ධනය ඇතුළු කෘෂිකර්මාන්තයට අදාළ කරුණු, ජල කළමනාකරණය, බොරතෙල් පිරිපහදු කිරීම, විදේශ ආයෝජන සහ අපනයන ප්‍රවර්ධන ආදී ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගිතාව පුළුල් කර ගැනීම පිළිබඳ ද මෙහි දී අවධානය යොමුවිය.
මෙම හමුවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.