නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහළ ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් (27) දින සිට ගිලා බැසීමට ලක්ව ඇති නිසා එම නිවාසවල පදිංචි පවුල් හයක සමාජිකයන් 28 දෙනකුට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නාවලපිටිය පොලීසිය උපදෙස් ලබා දී ඇත.
නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු ආපදා කළමනාකරණ ඒකකයේ උපදෙස් මත නාවලපිටිය පොලීසියේ නිලධාරින් ආපදාවට ලක්වී ඇති පිරිසට උපදෙස් ලබා දී ඇත.
එම ගම්මානයට පිවිසෙන මාර්ගය (27) දින සම්පූර්ණයෙන්ම ගිලාබැසීමට පටන් ගැනීමත් සමඟ ඒ අසල පිහිටි නිවාස හයක බිත්ති පුපුරා ගොඩනැඟිලි ගිලා බැසීමට ලක්ව ඇත.
පවතින වර්ෂාවත් සමඟ මෙසේ තම නිවාස සහ ගම්මානයට පිවිසෙන මාර්ගය ගිලාබැසීමට පටන්ගෙන ඇති බවත්, තමන්ට තාවකාලිකව රැඳී සිටීමට පොදු ආරක්ෂිත ස්ථානයක් නැති නිසා ඥාති නිවාසවලට යොමු වන බවයි පීඩාවට පත් ජනතාව කියා සිටියේ.
මේ අතර නාවලපිටිය දොළොස්බාගේ සිට ගම්පොළ දක්වා වූ අතුරු මාර්ගය ද ගිලාබැසීමට ලක් වී ඇති නිසා රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට නාවලපිටිය පොලීසිය පියවර ගෙන ඇත.
එම මාර්ගය ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පවරා දින තිහක පමණ කාලයක් ගතවී ඇති බවයි එම මාර්ගය භාවිත කරන ජනතාව කියා සිටියේ.