Home » අවානිවත්ත නිවාස සංකීර්ණයේ ජනයා ඩෙංගු අවදානමක

අවානිවත්ත නිවාස සංකීර්ණයේ ජනයා ඩෙංගු අවදානමක

by mahesh
November 29, 2024 1:00 am 0 comment

නුගේගොඩ සමූහ සමීර අබේසිංහ

කඩුවෙල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් කොට්ඨාස අංක 494, හෝකන්දර දකුණ ග්‍රාම නිලධාරී වසමේ විද්‍යාල හන්දිය, මල්වත්ත පාර, දක්ෂිණ මාවතේ පිහිටා තිබෙන අවානිවත්ත නිවාස සංකීර්ණයේ මිලදී ගෙන අතහැරදමා ඇති බිම්කොටස් විශාල ප්‍රමාණයක ලඳු කැළෑ වැවීම සහ පිටස්තර පදිංචි පුද්ගලයින් කුණු මලු රැගෙනවිත් එම වතුවලට විසිකිරීමෙන් එම කසළ ද්‍රව්‍යවල ඇති ප්ලාස්ටික් කෝප්ප සහ කැබලි තුළ ජලය රැඳී ඩෙංගු මදුරුවන් බෝවීම හේතුවෙන්, මෙම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින ජනතාව බොහෝ පීඩනයකට ලක්ව ඇතැයි එම නිවාස සංකීර්ණයේ ජීවත් වන ජනතාව පවසති. මේ සම්බන්ධයෙන් කිහිප වතාවක්ම කඩුවෙල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හා කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කළ ද කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් කිහිපදෙනකු කඩුවෙල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හට දුරකතන මාර්ගයෙන් කිහිප වතාවක්ම දැනුම් දෙන විට ඔහු පවසා ඇත්තේ කැළෑව තුළ හෝ ප්ලාස්ටික් අපද්‍රව්‍ය තුළ රැඳෙන ජලයේ ඩෙංගු මදුරුවන් බෝ නොවන බවයි. මේ සම්බන්ධයෙන් කඩුවෙල නගර සභාවේ කොමසාරිස්වරයා ද දැනුවත් කළත් කිසිඳු ප්‍රතිඵලයක් නොවූ බවට නිවාස සංකීර්ණයේ පදිංචි ජනයා මැසිවිලි නඟති. හැකි ඉක්මනින් බලධාරීන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කර ඉඩම් අයිතිකරුවන් හට නීති මඟින් හෝ ක්‍රියාත්මක වී ඉඩම් කැබලි සුද්ද පවිත්‍ර නොකළහොත් ප්‍රදේශයේ ජීවත් වන ජනයාගේ සහ කුඩා දූ දරුවන්ගේ ජීවිත ඩෙංගු මදුරුවාට බිලිවන බව ද ඔවුහු පෙන්වා දෙති. නිවාස සංකීර්ණයේ අතහැරදමා ඇති ඉඩම් කැබලි තුළ වැවී ඇති ළඳු කැලෑව හේතුවෙන් රාත්‍රී කාලයේ ඝන අඳුරක් ද පවතින බැවින් මත්ලෝලීන්ගේ රාජධානියක් වී ඇති බව ද එම ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පැවසූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT