Sunday, May 11, 2025
Home » ඉතා ප්‍රමුඛ සහ හදිසි වගකීමක් අගමැති අනාවරණය කරයි

ඉතා ප්‍රමුඛ සහ හදිසි වගකීමක් අගමැති අනාවරණය කරයි

by chanaka
November 30, 2024 10:05 am 0 comment

නව රජයේ වැඩපිළිවෙළ තුළ මත්ද්‍රව්‍ය මර්දනය ඉතා ප්‍රමුඛ සහ හදිසි වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

නීතිමය රාමුවට පමණක් සීමා නොවී ළමා හා තරුණ සිත් තුළ මනෝභාවමය සහ ආකල්පමය වශයෙන් යහපත් වෙනසක් ඇති කිරීම මගින් මත්ද්‍රව්‍ය උවදුර ජයගත යුතු ව ඇති බවත් ඒ කෙරෙහි විශේෂ වශයෙන් උත්සාහ දැරීමේ ජාතික වගකීමක් පවතින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසී ය.

ඇය මේ බව ප්‍රකාශ කළේ 2024 – සමස්ත ලංකා චිත්‍ර හා සජීවිකරණ වීඩියෝ තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ(29) ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් කොළඹ, ප්‍රදීපාගාර ශ්‍රවණාගාරයේ දී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ, නව රජයේ වැඩපිළිවෙළ අනුව මත්ද්‍රව්‍ය මර්දනය ඉතා ප්‍රමුඛ සහ හදිසි වගකීමක් ලෙස සලකන බවයි. දේශීය ආර්ථික හා සමාජ අර්බුද ඇති කරමින් රටේ අනාගතය අඳුරු කිරීම කෙරෙහි දරුණු බලපෑම් ඇති කරනු ලබන ජාතික හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතාව අඛණ්ඩ ව පවත්වාගෙන යා යුතු බවත් ඇය මෙහි දී අවධාරණය කළා ය. එහි ලා නාවික හමුදාව සහ අනෙකුත් ආරක්ෂක අංශ විසින් කරනු ලබන සේවය ඇගයීමට ලක් කළ ඇය, මත්ද්‍රව්‍ය කෙරෙහි ඇති ආකර්ෂණය පිටු දැකීමේ හා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක කාලීන අවශ්‍යතාව ද ඉස්මතු කළා ය.

දරුවන්ට මත්ද්‍රව්‍ය අවදානම ගැන දැනුම් දීමෙන් එහා ගොස් ඒ ඔස්සේ ඔවුන්ගේ නිර්මාණශීලී කුසලතා ඉස්මතු කරගැනීමට අවකාශ සැලසීම මගින් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ඔවුන්ට ආධාර කළ යුතු බව ද අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.

මෙම තරගාවලිය සඳහා චිත්‍ර හා වී‍ඩියෝපට ඉදිරිපත් කළ නිර්මාණශීලී දරුවන් ඇගයීමට ලක් කළ ඇය, එම නිර්මාණ කෙරෙන් මත්ද්‍රව්‍ය උවදුර නිසා සමාජය හා දරුවන් ඇතුළු ප්‍රජාව මුහුණ දී ඇති අභියෝග හා ඊට විසඳුම් සෙවීම සඳහා ඔවුන් තුළ ඇති හැකියාව ද විදහා දැක්වෙන බවත් පැවසී ය. මෙම වැඩසටහන නව දිශානතියක් පෙන්වන ගමනක ආරම්භයක් බවත් සියලු පාර්ශ්වයන් එක් ව ක්‍රියා කිරීමෙන් මත් උවදුර ජයගත යුතු ව ඇති බවත් අගමැති හරිනි අමරසූරිය මෙහි දී පැවසුවාය.

මේ අවස්ථාවට නාවික හමුදාපති රියාද් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT