ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් 248ක්, අමුණු 87ක් සහ ඇළවේලි 257ක් අයහපත් කාලගුණික තත්ත්වය නිසා දැඩිහානි සිදුවී විනාශ වී ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යු.බී. රෝහණ රාජපක්ෂ මහතා කියයි.
එමෙන්ම පවතින වැසි තත්ත්වය ඉහළ ගියහොත් තවත් වැව් 341ක් කැඩී යාමේ අවදානමක් මතුවිය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. මෙයින් අවදානම් මට්ටම වැඩිම වැව් 152ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද, වැව් 73ක් වවුනියාව දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වන බවද ඒ මහතා සඳහන් කරයි. මෙහිදී වැඩිම හානි වවුනියා දිස්ත්‍රික්කයේ වැව්වලට සිදු වී ඇති අතර එම සංඛ්‍යාව 56කි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 55ක්ද, අම්පාර දිස්ත්‍රික්කයේ වැව් 36ක්ද, මන්නාරම දිස්ත්‍රික්කයේ වැව් 22ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 12ක්ද විනාශ වී ඇත.
හානි සිදු වී ඇති ඇළවේලි 257න් වැඩිම හානි මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 72කි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 60ක්ද බදුල්ල දිස්ත්‍රික්කයෙන් 50ක්ද ඇළවේලි විනාශවීම් වාර්තා වී ඇත.
හානි සිදුවූ අමුණු 87න් වැඩිම හානි වාර්තාවන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 34කි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 14ක්ද, මහනුවර දිස්ත්‍රික්කයේ 09ක්ද අමුණු හානි වාර්තා වී තිබේ.
විනාශ වුණු මෙම වැව්, අමුණු සහ ඇළවේලි ප්‍රතිසංස්කරණ කටයුතු හැකි ඉක්මනින් අරඹන අතර මහ කන්නයේ වගා කටයුතු සඳහා ඒවා යොදා ගැනීමට උපරිම උත්සහයක් දරන බවද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යු.බී. රෝහණ රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
බුද්ධිකා ඉඹුලාන