Home » මුහුණුපොතේ දැන්වීමකින් ආ තරුණ භික්ෂුව පන්සල සුද්ද කර පැන ගිහින්

මුහුණුපොතේ දැන්වීමකින් ආ තරුණ භික්ෂුව පන්සල සුද්ද කර පැන ගිහින්

-සිවුරක් පෙරවා ගත් පුද්ගලයකු දැයි සැකයක්

by sachintha
November 30, 2024 12:18 am 0 comment

මාවනැල්ල, කරහම්පිටිගොඩ, ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ වැඩසිටීමට පැමිණි තරුණ හිමිනමක් විහාරස්ථානයේ ඉහළ මහලේ බුදු කුටියේ තිබුණු වසර 150ක් පැරණි රිදියෙන් නිමකළ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් ඇති මකර තොරණ සමඟ පිත්තල බුද්ධ ප්‍රතිමාවක් සොරාගෙන ගොස් ඇතැයි මාවනැල්ල පොලීසිය සඳහන් කරයි.

මෙම සොරකම පසුගිය 28 වැනිදා අලුයම් කාලයේදී සිදුව ඇතැයි පොලීසිය සැකකරන අතර හිත්තැටියේ සමිත නමින් පෙනී සිටි හිමිනමක් මෙම සොරකම සිදුකර ඇතැයි විහාරාධිපති මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ පවසති.

තමන් වහන්සේට විහාරස්ථාන 04ක් ඇති බවත් තමන් වහන්සේ වැඩ සිටින්නේ වෙනත් විහාරස්ථානයක බවත් මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ පවසති. මෙම විහාරස්ථානය ඇතුළු සෙසු විහාරස්ථානවල කටයුතු නිරත සොයා බලන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

සොරකම සිදු වූ මෙම විහාරස්ථානයේ වැඩ සිටින්නේ වයස්ගත හිමිනමක් බවද උන්වහන්සේ සඳහන් කළහ. මේ නිසා විහාරස්ථානයේ ආගමික කටයුතු සිදුකරමින් විහාරස්ථානය බලා කියාගෙන සිටීම සඳහා හිමිනමකගේ අවශ්‍යතාවක් ඇතිවූ බැවින් තමන් වහන්සේගේ මුහුණුපොත ඔස්සේ ඒ බව සඳහන් කරමින් දැන්වීමක් පළකළ බවත් ඒ අනුව හිත්තැටියේ සමිත නම් වූ මෙම තරුණ හිමියෝ තමාට කතාකළ බවත් මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ පැවසූහ.

කතා බහ කිරීමේදී එම හිමියන් ගැන යම් පැහැදීමක් ඇති බවත් උන්වහන්සේ බියගම විහාරස්ථානයක වැඩ සිටින බව පැවසූ බවත් මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ පවසති. තමාට මුහුණුපොත ඔස්සේ කතා කළ හිමියන්ට සිය නායක හිමියන්ගෙන් ලිපියක් ද රැගෙන පැමිණෙන ලෙස ද දැනුම් දුන් බව මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි සඳහන් කළහ.

එහෙත් පසුගිය 23 වැනිදා උන්වහන්සේ නායක හිමියන්ගේ ලිපිය නොමැතිව පැමිණි බවත් 25 වැනිදා සිය මව අසනීප තත්ත්වයේ පසුවන බව සඳහන් කරමින් මාතර යන බව කියා විහාරස්ථානයෙන් පිටත්ව ගිය බව මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ සඳහන් කළහ.

නැවතත් 27 වැනිදා පාන්දර පැමිණි උන්වහන්සේ 28 වැනිදා අලුයම් කාලයේදී පැනගොස් ඇත්තේ විහාරස්ථායේ ඉහළ මහලේ බුදු කුටියේ තිබුණු රිදියෙන් නිමකරන ලද ඉපැරණි තොරණ සමඟ පිත්තල බුද්ධ ප්‍රතිමාවක් ද රැගෙන බව විහාරාධිපති මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

පොලිසිය පවසන්නේ සොරාගත් රිදී මකරාගේ රුව සහිත තොරණ කි‍ලෝ 60ක් පමණ බරැති බවයි. රුපියල් කෝටි 02කට අධික වටිනාකමක් ඇති මෙම තොරණ සොරාගත් හිත්තැටියේ සමිත නැමැති හිමිනම සැබෑ ලෙසම භික්ෂුවක් ද නැතිනම් සිවුරුධාරී පුද්ගලයකු ද යන්න ගැන කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වන්නේ නොවන බව පොලීසිය කියයි. විහාරාධිපති හිමියන්ද මෙම සැකකාර හිමිනම ගැන වැඩි තොරතුරු නොදන්නා බවද පොලීසිය කියයි.

මෙම විහාරස්ථානය වසර 200කට වැඩි ඉතිහාසයක් ඇති ස්ථානයක් බවත් මෙම මකර තොරණ තිබී ඇත්තේ බුද්ධ මන්දිරයේ උළුවස්සට ඉහළින් බවත් පොලීසිය සඳහන් කළේය.

මෙම සොරකම සම්බන්ධයෙන් මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත කළුආරච්චි මහතාගේ නියෝගමත අපරාධ විමර්ශනය ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ගයාන් කුමාර වීරසිංහ සහ අරණායක සමූහ – රෝහණ ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT