සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ඇතුළු කාරණා කිහිපයක් ඉලක්ක කරමින් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සංවර්ධනය කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙම රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරාගෙන ඒ සඳහා වෙනම විශේෂ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ රෝහල සංවර්ධනය කිරීමටත්, ඊට අදාළ විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ සියලු කාර්ය මණ්ඩලය අනුයුක්ත කිරීමටත් ඇමැතිවරයා තීරණය කර ඇත. රෝහලේ ඉදිරි සංවර්ධන කාර්යයන් සිදුකිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ විශේෂ කමිටුවක් අමාත්‍යවරයාගේ උපදෙසින් පත් කළ අතර එම කමිටුවේ සංවර්ධන යෝජනාවලිය දෙසැම්බර් මස අවසන් වීමට පෙර ඇමැතිවරයාට ලබාදීමට නියමිතය. මොරටුව වෛද්‍ය පීඨ සිසුන්ගේ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා ප්‍රකාශ කළේය.
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සඳහා මහාචාර්ය පුහුණුව ලබා දීමට නිසි පහසුකම් හා අවශ්‍ය සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් මතුව පැවති ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමත්, මාලබේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල කාර්යක්ෂම රෝහලක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳත් ඇමැතිවරයාගේ අවධානය යොමු කෙරිණි.
ඒ අනුව එම ගැටලු සඳහා විසඳුම් සෙවීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාග් ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කළුතර නාගොඩ ශික්ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල, සහ මෙයට සම්බන්ධ සෙසු ආයතන නියෝජිතයන් ද මෙම සාකච්ඡාවට කැඳවා තිබුණි.
මෙ වනවිට වර්ෂ හතරකට අදාළ වෛද්‍ය සිසුන් 400කට ආසන්න සංඛ්‍යාවක් වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතුවල නිරත වන බවත්, එහි සිවුවන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් ලබන වසරේ මැද භාගය වන විට දී මහාචාර්ය පුහුණුව සඳහා අනිවාර්යයෙන් යොමු කළ යුතු බව ද එහෙත් ඒ සඳහා සුදුසුකම් සහිත කාර්ය මණ්ඩල මෙන්ම පහසුකම් සහිත රෝහලක් නොතිබීම දැඩි ගැටලුවක්ව පවතින අතර එම ගැටලුවට විසඳුම් ලබා දීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් හට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීම සඳහා 2021 වර්ෂයේ දී කළුතර දිස්ත්‍රික් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස නාමිකව ශ්‍රේණිගත කළ ද එහි මෙම කාර්යය ඉටුකිරීම සඳහා ප්‍රමාණවත් භෞතික සම්පත් වැඩිදියුණු කර නොතිබීම ගැටලුවක්ව පැවැතුණි. ඒ වෙනුවෙන් දැනට යෝජනා වී ඇති මාලබේ වෛද්‍ය නෙවිල් පුනාන්දු රෝහල පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී විමසා බලන ලද අතර එම රෝහලේ මෙම කාර්ය සඳහා ප්‍රමාණවත් රෝගීන් සහ පුහුණු මානව සම්පත නිසි අයුරින් නොමැති බව ද අනාවරණය කෙරිණි.
දීර්ඝ අදහස් හුවමාරුවකින් පසුව මොරටුව වෛද්‍ය පීඨයේ සිසුන්ට ලබන වර්ෂයේ ජූලි මාසයේ ආරම්භවීමට නියමිත මහාචාර්ය පුහුණුව කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළ ආරම්භ කිරීමටත්, ඉදිරි මාස කිහිපය තුළ දී ඒ සඳහා රෝහල තුළ සිදුවිය යුතු සංවර්ධන කටයුතු සිදු කිරීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් කඩිනමින් ස්ථාපිත කිරීමටත් මෙහි දී තීරණය කෙරිණි. මේ සඳහා ඉතා කෙටි කාලයක් තුළ අදාළ අඩුපාඩු සම්පූර්ණ කිරීමේ වගකීම නියමිත ආයතන වෙත මෙම සාකච්ඡාවේ දී පවරන ලදි.
ඒ අනුව රෝහලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩල ඇතුළුව මූලික පහසුකම් රෝහලට ලබා දීමට, සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මගින් ලබා දීමටත් මෙම සාකච්ඡාවේ දී එකඟතාවකට එළැඹිණි. මෙම සාකච්ඡාමය අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්ම මහත්මීන් ද, අතිරේක ලේකම්වරුන් මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කළුතර නාගොඩ ශික්ෂණ රෝහල, මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ මෙයට සම්බන්ධ සියලු ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
සන්ධ්‍යා කරුණාරත්න