Monday, May 5, 2025
Home » ලොකු ලූනු ආනයනික බද්ද පහළට

ලොකු ලූනු ආනයනික බද්ද පහළට

by sachintha
December 2, 2024 12:34 am 0 comment

දේශීය ගොවියා ආරක්ෂා කරමින් පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීම අරමුණු කරගෙන අර්තාපල් සඳහා ක්‍රියාත්මක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද එලෙසම පවත්වාගෙන යාමට සහ ලොකු ලූනු සඳහා පැවති වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 20කින් පහත හෙළීමට ද රජය තීරණය කර තිබේ. ඒ අනුව, දේශීය ගොවියා ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ඇති වන පරිදි, කෙටිකාලීන පියවරක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාලය පසුගිය නොවැම්බර් මස 30 දායින් අවසන් වීමට නියමිතව තිබූ අතර අර්තාපල් සඳහා දැනට ක්‍රියාත්මක විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බදු පනතේ නියමය එලෙසම 2024 දෙසැම්බර් මස 31 දින දක්වා පවත්වාගෙන යාමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ලොකු ලූනු සඳහා පැවැති රුපියල් 30ක් වූ විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩුකර 2024 දෙසැම්බර් මස 31 දින දක්වා ක්‍රියාත්මක කිරීමටත්, ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මත ඒ සඳහා සුදුසු නීතිමය විධිවිධාන යටතේ කටයුතු කිරීමටත් පියවර ගෙන තිබේ.

දේශීය අර්තාපල් සහ ලොකු ලූනු ගොවීන්ට තම නිෂ්පාදනයන්හි පිරිවැය ආවරණය වන සාධාරණ මිලක් ලබා ගැනීමට හැකිවන පරිදි, ආනයනය කරනු ලබන අර්තාපල් කිලෝග්‍රෑම් 1ක් සඳහා එතෙක් පැවැති රුපියල් 50.00ක් වූ විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 60.00ක් දක්වාත්, ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 10.00ක්ව පැවැති විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30ක් දක්වාත් සංශෝධනය කිරීම සුදුසු බවට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කරන ලද නිර්දේශයන් ද පදනම් කරගෙන, ආනයනික අර්තාපල් සහ ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා පිළිවෙළින් රුපියල් 60.00ක් සහ රුපියල් 30.00ක් වශයෙන් විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්දක් 2024 ඔක්තෝබර් මස 03 දින සිට නොවැම්බර් මස 30 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියම කරන ලදී.

එම නියමය 2024 ඔක්තෝබර් මස 02 දිනැති අංක 2404/19 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව එම ගැසට් නිවේදනයේ වලංගු කාලය 2024 නොවැම්බර් මස 30 දිනයෙන් අවසන් විය. මේ වනවිට ලොකු ලූනු වෙළඳපොළ මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් නිරීක්ෂණය වන අතර, පවතින කාලගුණික තත්ත්වය මත සහ සෑම වර්ෂයකම එළඹෙන උත්සව සමය මුල්කරගෙන අර්තාපල් ඇතුළු අනෙකුත් එළවළු මිල ඉහළ යාමට ඇති ප්‍රවණතාවක් දක්නට ඇත. මේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ වෙ‍ෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් කර ඇති නිර්දේශයන් පිළිබඳ සලකා බලා ආනයනය කරනු ලබන අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 60ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද එලෙසම පවත්වා ගැනීමටත්, ආනයනික ලොකු ලූනු සඳහා පැවැති රුපියල් 30ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩු කිරීමටත් තීරණය කර, එම නියමය 2024 නොවැම්බර් මස 30 දිනැති අංක 2412/38 දරන ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබේ.

එම ගැසට් නිවේදනයේ සඳහන් නියමයන් එළඹෙන දෙසැම්බර් මස 01 වන දින සිට 2024 දෙසැම්බර් මස 31 දින දක්වා ක්‍රියාත්මකව පවතින බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT