Monday, May 5, 2025
Home » වායු සමීකරණයක් අල්ලසට ඉල්ලූ

වායු සමීකරණයක් අල්ලසට ඉල්ලූ

-මීගමුවේ පොලිස් ලොක්කෙක් රිමාන්ඩ්

by sachintha
December 2, 2024 12:35 am 0 comment

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෝටර් රථයක් නිදහස් කර දීමට එහි හිමිකරුගෙන් රුපියල් 275,000ක් වටිනා වායු සමීකරණ යන්ත්‍රයක් අල්ලස් ලෙස ලබාගැනීමක් සම්බන්ධයෙන් මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මීගමුව පොලිස් අධිකාරි කාර්යාල සංකීර්ණයේ පිහිටි විශේෂ අපරාධ විමර්ශන අංශ කාර්යාලය තුළ දී මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 29 වෙනිදාය. මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ඊයේ (01) වනවිට පොලිස් බලධාරීන් පියවර ගෙන තිබුණි. මීගමුව, දළුපොත, සිරකඳවුර පාරේ පදිංචි පුද්ගලයකුගෙන් ඔහු මෙම අල්ලස ලබාගෙන තිබේ.

එම පුද්ගලයාට අයත් මෝටර් රථයක් පුද්ගලයන් දෙදෙනකු විසින් කුලී පදනම මත ලබාගෙන අස්ථානගත කර ඇත. ඒ ගැන ඔහු මීගමුව විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ලට අනුව විමර්ශන පැවැත්වූ මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනා මෝටර් රථයත් සමඟ අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අධිකරණය භාරයට පත් කළ මෝටර් රථය අධිකරණයෙන් මුදාගෙන එහි හිමිකරුට ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු කර දීමට නම් වායු සමීකරණ යන්ත්‍රයක් ලබාදෙන ලෙස තමාගෙන් විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ඉල්ලා සිටි බව වාහනයේ හිමිකරු විසින් අල්ලස් කොමිෂන් සභාවට පැමිණිලි කරමින් සඳහන් කර ඇත. පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටි වායුසමීකරණ යන්ත්‍රය රුපියල් 275,000ක් වටිනා එකක් වූ බැවින් ඊට අදාළ මුදල් පෞද්ගලික බැංකු ගිණුමකට බැර කර ඇත. අනතුරුව එම රිසිට්පත පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදෙන අවස්ථාවේ දී අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා ඊයේ (01) නියෝග කර ඇත.

ගයාන් කුමාර වීරසිංහ සහ කොච්චිකඩේ – ඩී. මිහිදුකුළ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT